නුවන් දෙනුවන් වසා අද සමුගනී

319

දශක ගණනාවක් හෙළ ගී කෙත තම මධුර හඬින් පෝෂණය කරන්නට වෙහෙසුණාවූ අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන ශල්පී නුවන් ගුණවර්ධනයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (11 දා) සවස 6.00ට මහරගම පොදු සුසානභූමියේදී සිදුකිරීමට නියමිතය.

මියයන විට 73 වැනි වියේ පසුවූ ගුණවර්ධන මහතා දෙදරු පියෙකි. ඔහුගේ පුත් ගයාන් ගුණවර්ධනද අද නව පරපුරේ ගායන වේදියෙකි.

මහරගම බුවනෙක මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලද නුවන් ගුණවර්ධන මහතා පසුකලකදී ගුවන් ඉංජිනේරු විද්‍යාව හදාරා ශ්‍රී ලංකා ගුවන් සමාගමට එක්ව ඇත්තේ ගුවන් යානා යාන්ත්‍රික ඉංජිනේරුවෙකු වශයෙනි. එහි වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඉන්දියාවේ ගත කළ කාලයේදී හිංදි භාෂාව හැදෑරීමට ද අවස්ථාව සැලසී ඇත. පාසල් වියේ සිටම ගායන හැකියාව ලද නුවන් හිංදි ගීත ගායනයට මහත් රුචිකත්වයක් දැක්වූවෙකි. ඔහු සමග එකට සේවය කළ ඩෙරික් ද සිල්වා ගායන ශිල්පියාගේ මග පෙන්වීම මත විවිධ ප්‍රසංග සඳහා හිංදි ගී ගැයීමට එක්වූ ඔහු පසුව හිංදි නුවන් නමින් ප්‍රකට විය. හිංදි ගීත කැසට් පට පමණක් හතළිහකට ආසන්න ප්‍රමාණයකට ඔහු විසින් ගී ගයා ඇත.
පසුව 80 දශකයේ දී කුලරත්න ආරියවංශ මහතා ලියූ ‘පාවී ගියා වේ ළඳේ මා ඔබේ’ ගීතය ගායනා කරමින් සිංහල ගීත ක්‍ෂේත්‍රයට එක් වූ ඔහු ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ ගායන ශිල්පියෙකි. ඔහු ගැයූ ජනප්‍රිය ගීත අතර ‘කඳුළින්ම ගැයූ පෙම් ගීතේ, පවනක් සේ ඔබ, කිරි මුහුදු වෙරළේ’ ආදී ගීත රැසක්ම විය. එච්.ආර්. ජෝතිපාලයන්ගේ අභාවයෙන් පසුව ‘ඇර සොයිසා’ චිත්‍රපටයෙන් පසුබිම් ගායනයට එක්වූ ඔහු චිත්‍රපට 66 කට පමණ ගීත 300 කට ආසන්න ප්‍රමාණයක් ගායනා කර ඇත. මේ වනවිට ඒ මහතාගේ දේහය ඔහු පදිංචිව සිටි මහරගම, පතිරගොඩ, නාලන්දාම පාරේ අංක 92 දරන නිවසේ අවසන් ගෞරව දැක්වීම සඳහා තැන්පත් කර ඇත. අවසන් කටයුතු අද (11 දා) ඉරුදින සවස 6 ට මහරගම ගොඩිගොමුව පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment