රවි – ධනු රාශි ගත වෙයි – ඔබට, රටට මෙහෙමයි

1806

සූර්යයා හෙවත් රවි ග්‍රහයා ලබන දෙසැම්බර් 16 දා වෘශ්චික රාශියට ඇතුළු වීම රාත්‍රී 7.15 ට සිදු වෙයි. ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වන රවි වෘශ්චික රාශිගත වීම සිදුවන්නේ අවුරුද්දකට එක් වරකි. මේ නිසා අන් ග්‍රහයින්ට වඩා මේ ග්‍රහ මාරුව ඉතා වැදගත් වේ.

අපේ රට සම්බන්ධයෙන් බලන විට රවි මාරුව සිදුවන්නේ කුම්භ ලග්නය හිමි ලංකා කේන්ද්‍රයේ එකොළොස් වැන්නටය. රාජ්‍ය කාරක රවි පාලනයේ යෙදෙන අය නිවේදනය කරනු ලබන එකොළහෙන් පාර්ලිමේන්තුව, රාජ්‍ය ආදායම් ආදිය ගැන කියනු ලැබේ. ඒ වනවිට ලංකා කේන්ද්‍රයේ එකොළහ රවි සමග බුධ හා සිකුරුද, දොළහේ ශනිද, දෙවැන්නේ ගුරුද, තුන්වැන්නේ රාහු හා හතරේ කුජ ද සඳු අටේ ද ගමන් කරමින් සිටී.

රාජ්‍ය ආදායම පිළිබඳව තරමක සතුටුදායක තත්ත්වයක් ඇති වේ. රාජ්‍ය නායකයාට රවි මාරුව සුබපල දායක නමුදු පාලක පක්ෂයේ සමහරුන් විපක්ෂය සමග එකතු වීමට ඉඩ තිබේ. ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ද වරින්වර ඉස්මතු වේ. කාලගුණය ගැන බලන විට මද වැසි පවතී. ජනතාවට විශාල සහනයන් අපේක්ෂා කළ නොහැකි වේ. මාසයකට ආසන්න කාලයක් මේ තත්ත්වය පවතී. එනම් ජනවාරි 14 දක්වාය.

රවි ධනු රාශියේ ගමන් කරන දෙසැම්බර් 16 සිට ලබන ජනවාරි 14 කාලය කෝණ මාසයක් වශයෙන් නම් කර තිබේ. කෝණ මාසය හෙවත් කොන් කර ඇති මාසය යැයි කියන්නේ නැකැත් නැති මාසය ලෙසිනි. නමුත් ඒ මංගල නැකත් හා ගෘහාරම්භ නැකැත් පමණි. මේ මාසය තුළ විවාහ මංගල අසුබ බවක් කියැවෙන කවියක් මෙසේය.

කෝනේ කන මඟුල් තුලා කාටත් සකිපල නොදේවි
පානේ තෙල් ඇතත් තිරය එළිය නොදේ අඳුර දේවි
මූනේ සහ ඇඟෙ හැටියෙන් අසරණකම පෙනී යාවි
හීනේකින් දුටු දේවත් මේ මස තුළ පල නොදේවී

මෙසේ වූ රවි මාරුව උපන් ලග්න වලට විශේෂයෙන් බලපානු ඇත. ලග්න හතරකට සුබපලත්, ලග්න තුනකට අසුබපලත් අනෙක් ලග්නවලට මිශ්‍රපලත් ඇති කරයි. ජන්ම පත්‍රයේ සඳු හිමි රාශිය සැලකිය යුතු අතර, රවි දශා ගතකරන අයට මේවා අධික ලෙස බලපාන බව සැලකිය යුතුය.

මේෂ

ශරීර සනීපය ගැන සැලකිලිමත් විය යුතුය. දරුවන්ගේ කටයුතුවලට අමතර වෙහෙසක් දරන්නට සිදුවිය හැකිය. නමුත් පසුගිය මාසේ තිබූ අපහසුතා තරමක් දුරට විසඳෙනු ඇත. වියදම් ඉහළ යෑමට ඉඩ තිබේ. නමුත් ලග්නාධිපති බලවත්ව ගමන් කරන නිසා උත්සාහය, ධෛර්යය වැඩි වේ. මේ නිසා බොහෝ පාඩම් ගැටලු මගහරවා ගත හැකි වේ. ආගම දහමට හිත ඇදී යයි. දේව භක්තිය ද ඉහළ යනවා ඇත. නමුත් උසස් මිතුරන්ගේ හා ගුරුවරුන්ගේ ඇසුර ලැබෙනවා ඇත. සුදුසු පිළියම් හා ශාන්ති කර්ම ලිපිය අවසානයේ දක්වා ඇත.

වෘෂභ

ඔබේ ලග්නයෙන් අටවැන්නේ රවි ගමන් කරන බැවින් මෙම උදාවන මාසයක කාලය ඉතා ප්‍රවේශමෙන් ගත කළ යුතු බව පෙනේ. විශේෂයෙන් ඌෂ්ණාධික රෝගවලින් ප්‍රවේශම් වෙන්න. රුධිර ධාවනය පිළිබඳව ගැටලු, හෘදයාබාධ, උණ ආදී ආබාධ වළක්වා ගැනීමට හා නිසි වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අවශ්‍ය වේ. එමෙන්ම උසස් අය සමග කටයුතු කරන විට දුරදිග බලා ක්‍රියාකරන්න. නමුත් ගුරු ග්‍රහයා සුබව ගමන් කරන නිසා යහපත් මිතුරු ආශ්‍රය ද ආදායම වෙනස් වීම ද බලාපොරොත්තු විය හැක. ලිපිය අවසානයේ ඇති ශාන්ත කර්ම කරන්න.

මිථුන

මිථුන ලග්න හිමියන්ට දැනටමත් ඒරාෂ්ටක අපල තත්ත්වයක් බලපාන අතර රවි මාරුව ලග්නයෙන් හත්වැන්නට සිදුවේ. හවුලේ කටයුතු කරන විට ඉවසීම ප්‍රගුණ කර ගන්න. විවාහ මංගල යෝජනා හෝ පෙම් සබඳතා ස්ථිර කිරීමට සුදුසු කාලයක් නොවේ. විවාහ සහකරුට ද තරමක බාධා පවතී.

ආගමික ජීවිතයක් ගත කරන්න. නමුත් විවිධ කරදර හා බාධක මධ්‍යයේ වුවද තරමක ලාභ ප්‍රයෝජන ලැබීමට ද ඉඩ තිබේ. ඉවසීමෙන් සුබපල ලැබේ යන්න නිතර මතක තබා ගැනීම වැදගත්ය.

කටක

රවි මාරුව සුබපල දායකයි. උත්සාහය, උනන්දුව වැඩි වේ. නීතිමය ගැටලුවලට විසඳුම් ලැබේ.

පසුගිය දිනවල තිබූ ගැටලු විසඳේ. ආදායම් සතුටුදායක වේ. සතුරන් හා තරගකරුවන්ගෙන් ජය ලැබිය හැකි වේ. හිතේ සතුට ඇති වේ. අලුත් තනතුරු හෝ තත්ත්වයේ උසස්වීම් ලැබීමට ද ඉඩ තිබේ. නම ප්‍රසිද්ධ වේ. අසනීපවලින් සුවය ලැබේ. පවුලේ දියුණුව ද වැඩි වේ. ලිපි ලේඛන, සන්නිවේදන කටයුතු කරන අයට විශේෂ සුබපල ලැබේ. විනෝදාංශ පාලනය කරගන්න.

සිංහ

සිංහ ලග්න හිමි ඔබේ ලග්නයෙන් පස්වැන්නේ රවි සමග සිකුරු සහ බුධ ගමන් කරයි. මිශ්‍රඵලදායක කාලයක් බව පෙනේ. ආශ්‍රය කරන අය ගැන ප්‍රවේශම් වෙන්න. මුදල් ආයෝජනය කිරීම වැනි කටයුතුවලදී ද වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු වේ. මේ අතර නම ප්‍රසිද් වීම ද දරුවන්ගේ දියුණුව ලැබීම ද පෙන්වයි. පෙම් සබඳතා ඇති වීමට ද ඉඩ තිබේ. සමාජ තත්ත්වය ඇතිවන කාලයකි. එහෙත් බඩේ ඌෂ්ණාධික බව නිසා ඇතිවන රෝග හා අනතුරුවලින් ප්‍රවේශම් විය යුතුය.

කන්‍යා

ඔබේ කේන්ද්‍රයේ ලග්නයෙන් හතරවැන්නට රවිගේ පැමිණීම මිශ්‍රපලදායකයි. පවුලේ කටයුතු වෙනුවෙන් කරන වියදම් ඉහළ යෑමට ඉඩ තිබේ. ඉඩම්, ගෙවල් ආදියේ දියුණුවට කරන කටයුතුවලට ද තරමක බාධා ඇති වේ. රුධිර ධාවනය, හෘදයාබාධ පිළිබඳ ගැටලු වැනි අසනීපවලින් ප්‍රවේශම් වීමටත් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටත් සැලකිලිමත් වෙන්න. නමුත් ලග්නාධිපති බුධ ද රවි සමග ගමන් කරන නිසා තදබල අපල නොවේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. යහපත් මිතුරන් හඳුනාගැනීමට හැකි වේ. බිරිඳට ද සුබදායක වේ.

තුලා

තුලා ලග්න හිමි ඔබේ ලග්නයේ වික්‍රමස්ථානයට රවි සමග බුධ, සිකුරු මාරුවීම සතුටුදායකයි. උත්සාහය, උනන්දුව, ධෛර්ය ඉහළ යන නිසා බොහෝ ගැටලු විසදාගත හැකි වේ. සහෝදරයන්ගේ දියුණුවට ද කරුණු යෙදේ. ලාභදායක ගමන් බිමන් යෙදේ. සමාජ තත්ත්වය උසස් වේ. හිතේ සතුට ඇති වේ. නීතියේ පිහිට ලැබේ. සතුරන් හා තරගකරුවන් අභිබවා ක්‍රියාකළ හැකි වේ. ධන ලාභ ලැබේ. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. නව ව්‍යාපාර ආරම්භ කිරීමට ද සුබයි. උගත් අයගෙන් උදව් ලැබේ.

වෘශ්චික

ඔබේ ජන්ම පත්‍රය අනුව රවි ධනස්ථානයේ ගමන් කරන බැවින් පවුලේ වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් වෙන්න. රැකියා තනතුරු නිසා හෝ තත්ත්වය රැකගැනීමට හෝ අමතර වියදම් යෙදේ. බිරිඳ හෝ සැමියාට ද තරමක කරදර පෙන්වයි. නමුත් මේ දිනවල ඔබේ ලග්නයේ පස්වැන්නේ ගුරු ගමන් කරන නිසා මේ අපල අඩුවෙයි. කාලයක සිට පැවති කරදරයකින් නිදහස් වීමට හැකි වේ. දූදරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. විභාගවලින් ජය ලැබිය හැකි වේ.

ධනු

ආගම දහමට වැඩියෙන් හිත ඇදී යයි. පසුගිය මාසයේ තිබූ කරදර තරමක් දුරට අඩු වී යනවා ඇත. වියදම් පාලනය කර ගැනීමට හැකි වේ. එහෙත් හිසේ ඌෂ්ණාධික රෝග, ඇස්වල රෝග වැනි අපල ඇති වීමට ඉඩ තිබේ. රැවටිලි වලට අසුවීමට ද ඉඩ ඇති නිසා ප්‍රවේශම් වෙන්න. දුරදිග බලා කතා කරන්න. කල්පනාකාරීව කටයුතු කිරීමෙන් සාර්ථකත්වයන් ලබාගැනීම අපහසු නොවේ. සිකුරු ද ලග්නයේ ගමන් කරන නිසා තදබල අපල ඇති නොවේ.

මකර

ඔබේ කේන්ද්‍රයේ දොළොස්වැන්නට රවි මාරුව සිදු වේ. මේ නිසා පසුගිය කාලයේ සාර්ථකව කරගෙන ආ කටයුතුවලට අනපේක්‍ෂිත බාධා ඇති වීමට ද ඉඩ තිබේ. විශේෂයෙන් උසස් අය සමග ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු වේ. නීති විරෝධී කටයුතුවලට මැදිහත් නොවීමට වගබලා ගන්න. රාජ්‍ය අංශයේ රැකියා කරන අය ප්‍රවේශම් විය යුතුය. විදේශ ගමන් පිළිබඳ කටයුතු කිරීමට සුබ කාලයක් වේ. මෙම ලිපියේ අග සඳහන් වන ශාන්තිකර්ම කරගැනීම මැනවි.

කුම්භ

රවි ලග්නයෙන් එකොළහට පැමිණෙන නිසා කුම්භ ලග්න හිමියන්ට සතුටුදායක ප්‍රතිඵල ලැබේ. ආදායම් මාර්ග යහපත් වේ. උසස් අයගේ උදව් ලැබේ. යහපත් මිතුරන්ගේ ඇසුර ලැබේ. සමාජයේ තිබූ ගෞරවය වැඩි වේ. තනතුරේ හෝ තත්ත්වයේ උසස්වීමකට ඉඩ තිබේ. රැකියා ලාභ ලැබෙන කාලයකි. සහෝදරයකුට ද සුබදායකයි. මිතුරු මිතුරියන් සමග සතුටින් කාලය ගත වේ. ආදායම් ඉහළ යයි. අසනීපවලින් සුවය ලැබේ. ගෙදර දොර වාසනාව උදා වේ. දරුවන්ට ද සුබයි.

මීන

මීන ලග්න හිමියන්ගේ ලග්නයෙන් දහවැන්නට රවි මාරුව සුබපල දායකයි. සමාජ තත්ත්වය ඉහළ යයි. රැකියා හෝ ව්‍යාපාර දියුණුවට පැමිණේ. නායකත්ව ගතිගුණ ඉස්මතු වේ. අසනීප සුව අතට හැරේ. ප්‍රිය සම්භාෂණවලට ද සහභාගිවීමට අවස්ථා උදා වේ. අඹු – සැමි සමගිය ඇති වේ. මේ අතර සතුරන් හා ඊරිෂියා කාරයන්ගෙන් ද ප්‍රවේශම් විය යුතුය. හිත මිතුරන් හා නෑයින් අතර සබඳතා අලුත් වන කාලයකි.

රවි අපලයක් පවතින විට බුද්ධ වන්දනාව කර සූරිය පිරිත භාවිතා කරන්න.
ආලෝක පූජා පවත්වන්න.
සිල්වත් කෙනෙකුට ඇස් කණ්නාඩියක් පරිත්‍යාග කරන්න
සිසිල් බීම, සිසිල් පැන් දන් දෙන්න
මෛත්‍රී භාවනාව කරන්නමෝර පිරිත උදේ සවස භාවිතා කරන්න
ඌෂ්ණාධික ආහාර පාන අගුණයි
සුදුසු යන්ත්‍රයන් පැළදීම ද ගුණදායකයි

රවි - ධනු රාශි ගත වෙයි - ඔබට, රටට මෙහෙමයි

රාජ්‍ය සම්මාන ලාභි ජ්‍යොතිෂවේදී සුනිල් කුමාර ගම්ලත්
දුරකතන අංකය 077-1234313

advertistmentadvertistment
advertistmentadvertistment