ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි වූ ලංවිම සේවකයන් 66 කගේ වැඩ තහනම්

66

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරත වූ සේවකයන් 66 දෙනකුගේ සේවය අත්හිටුවීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇත.

උද්ඝෝෂණය පැවති දින මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයන්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනකු මුලින්ම වැඩ තහනමට ලක්කළ අතර ඉන් අනතුරුව විවිධ අංශවල 51 දෙනකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

විදුලිබලය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම්කර තිබියදී උද්ඝෝෂණ කර විදුලිබල මණ්ඩලයේ සේවාවන්ට බාධා කළ සහ කළමනාකාරීත්වය විසින් නිකුත් කර තිබූ මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයකුගේ වැඩ තහනම් කර සුදුසු විනය පියවර ගන්නා ලෙස ඇමැති කංචන විජේසේකර මහතා ලබා දුන් උපදෙස් අනුව මෙම වැඩ තහනම් කිරීම සිදුකර ඇත.
චමින්ද සිල්වා

තීරණයට විරුද්ධව අපි උසාවි යනවා – වෘත්තීය සමිති

වැඩ තහනමට ලක්කර සිටින විදුලි සේවකයන් 66 දෙනාගේ වැඩ තහනම ඉවත්කර ගැනීම සඳහා අද (22 දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනුකරන බව ලංකා විදුලි පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා ‘දිවයින’ ට ඊයේ (21 දා) පැවසීය. ජනතාව කළුවරේ නොතියා වෘත්තීය ජයග්‍රහණ දිනා ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම කීය.

වැඩ තහනමට ලක්කර සිටින සේවකයන්ට රැකියාව නොදෙන්නේ නම් විදුලිබල මණ්ඩලයේ 23,000 ක් වන සේවකයන්ගෙන් බහුතරයක් ඉල්ලා අස්වීමේ ලිපි ලබාදී ඉවත්වීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බව ද ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති සාකච්ඡා කරමින් සිටින බවද පැවසීය.

වැඩ තහනමට එරෙහිව අද (22 දා) පෙරවරු 7.00 ට දුම්රිය, වරාය, රක්‍ෂණ, තැපැල් ඇතුළු ආයතන කිහිපයක සේවකයන් විදුලිබල මණ්ඩලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා අත් පත්‍රිකා බෙදා හැරීමටත්, උදේ 8.30 මුදල් අමාත්‍යාංශයට ලිපියක් භාරදීම, පෙරවරු 9.00 ට රාජ්‍ය, අර්ධ රාජ්‍ය, වතු, සිවිල් සංවිධාන ඇතුළු සංවිධාන රැසක වෘත්තීය සමිති නායකයන් මරදාන CSR හිදී සාකච්ඡාවක් පවත්වා ගනු ලබන තීරණ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීම සහ දවල් 12.00 ට සිවිල් සංවිධාන නියෝජිතයන් විදුලිබල මණ්ඩලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව ද ජයලාල් මහතා කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment