පාතාලය සහ කුඩු මඩින්න ලොකු දැලක්

358

පොලිසිය -STF යුද හමුදාව සහ බුද්ධි අංශ එක්වෙයි

රටපුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාල ක්‍රියාකාරකම් මුළුමනින්ම මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිසිය, යුද හමුදාව සහ බුද්ධි අංශ ඒකාබද්ධව දැවැන්ත මෙහෙයුම් දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ආරම්භ වන මෙම මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කරන මෙහෙයුම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල අපරාධකරුවන් සියලුම දෙනා නීතියේ රැහැනට නතුකර ගන්නා තුරුම ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මෙම සති අන්තයේ සිට දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන මෙම මෙහෙයුම් සඳහා පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සියලු දෙනා සම්බන්ධ කර ගැනීමට කටයුතු කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මෙම දැවැන්ත මහෙයුම් ක්‍රියාත්මක කිරීම සහ රටේ මත්ද්‍රව්‍ය පාතාලය මර්දනය කිරීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කොළඹට කැඳවා ලබන 14 දා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

තම බල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් පාතාල අපරාධ සිදුවන්නේ නම් එහි වගකීම අදාළ ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් භාරගත යුතු බව වැඩබලන පොලිස්පතිවරයා පවසයි.

තම බල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීමට මෙන්ම පාතාල අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම් නතර කිරීමට නොහැකි සියලු නිලධාරීන් මාරුකර යැවීමට කටයුතු කරන බවද වැඩබලන පොලිස්පතිවරයා පවසයි.

මත්ද්‍රව්‍ය සහ පාතාලය මුලින් උපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කරන මෙම මෙහෙයුම් සඳහා නීතිය සාමය අමාත්‍යාංශයේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේද සහාය ලබා ගැනීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment