වැට් වැඩි ඡන්ද 45කින් සම්මතයි – පක්‍ෂව 100යි විරුද්ධව 55යි

143

හිටපු ඇමැති රොෂාන් විරුද්ධ වෙද්දී ලන්සා, ජෝන්, ප්‍රියංකර
අනුර යාපා, වඩිවෙල්, අතාවුල්ලා, ෆවුසිත් පක්ෂව ඡන්දය දෙති

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත (වැට් බදු සංශෝධන පනත) ඊයේ (11දා) සවස පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ දැඩි ඝෝෂා සහ විරෝධතා මැද වැඩි ඡන්ද 45 කින් ආණ්ඩුව විසින් සංශෝධන සහිතව තුන්වැනි වර ද කියවා සම්මත කරගනු ලැබීය.
තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 100 ක්ද විරුද්ධව ඡන්ද 55 ක්ද ප්‍රකාශ කෙරිණි. පනත සම්මත කිරීම සඳහා ඊයේ අවස්ථා 3කදී ඡන්ද විමසීම් පැවැත්වීම විශේෂ සිදුවීමක් විය. පනත ඊයේ සභාවට ඉදිරිපත් කිරීම, දෙවැනි වර කියවීම සහ තුන්වැනි වර කියවීම යනාදී වශයෙන් ඡන්ද තුනක් ක්‍රියාත්මක විය. කෙසේ වෙතත් පනත සම්බන්ධයෙන් විවාදයක් නොපැවැත්විණි.

එහිදී දෙවැනි වර ඡන්දය විමසීමේදී පනත වැඩි ඡන්ද 57 කින් සංශෝධන සහිතව තුන්වෙනි වරද කියවා සම්මත කරනු ලැබීය. එහිදී පනතට පක්ෂව ඡන්ද 98 ක්ද විපක්ෂව ඡන්ද 41ක්ද ප්‍රකාශ විය.

පනතට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළ අතර ඔවුන් සමග ප්‍රියංකර ජයරත්න, නිමල් ලන්සා, වඩිවෙල් සුරේෂ්, ජගත් සමරවික්‍රම, ඒ.එච්.එම්. ෆවුසි, ඒ.එල්.එම්.අතාවුල්ලා, අනුර ප්‍රියදර්ශන යාපා සහ ජෝන් සෙනෙවිරත්න යන මහත්වරු ආණ්ඩුව සමග එක්ව ඡන්දය ප්‍රකාශ කළහ.

විපක්ෂයේ සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ද පනතට විරුද්ධව ඡනදය ප්‍රකාශ කළේය.

මේ අතර අයවැය වැය විවාදය අතරතුර යෝජිත වැට් බදු සංශෝධන පනත විවාදයට ගන්නවාද නැද්ද පිළිබඳව ඊයේ පෙරවරුවේද හදිසි ඡන්දයක් පැවති අතර එහිදී ඊට පක්ෂව ඡන්ද 92ක්ද විපක්ෂව ඡන්ද 41ක්ද ලැබිණ. එහිදී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය ඡන්දය දීමෙන් වැළකී සිටියාය.

වැට් සංශෝධන පනත විවාදයට ගැනීම අදාළ යෝජනාව සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ විපක්ෂය විරුද්ධ වීම නිසා පනත විවාදයට ගැනීම සම්බන්ධයෙන් අනුමැතිය ගැනීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පියවර ගත්තේය.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පෙරේදා (10දා) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබුණ ද ගණපූරණය නොමැති වීම නිසා සභාවේ කටයුතු ඊයේට කල් තැබිණි.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව සම්පූර්ණ දිනක විවාදයක් අවශ්‍ය බව සජබ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ඉල්ලා සිටි අතර සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ දිනක විවාදයක් ලබා දිය හැකි බවයි.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment