පාසල් දැරියන්ට සනීපාරක්‍ෂක තුවා ලබාදීම සහ තවත් කතා

866

1956 මහා මැතිවරණයට විජයානන්ද දහනායක මහතා ඉදිරිපත් වූයේ මහජන එක්සත් පෙරමුණෙනි. එම මැතිවරණයෙන් ගාල්ල අසුන ජයගත් විජයානන්ද මහතා බණ්ඩාරනායක ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැතිවරයා විය. අධ්‍යාපනයේ වැදගත් ප්‍රතිසංස්කරණ රැසක් කළ විජයානන්ද මහතා සෑම පාසල් දරුවකුටම දිවා ආහාරය වශයෙන් බනිස් ගෙඩියක් සහ කිරි වීදුරුවක් දීමට වැඩපිළිවෙළක් ආරම්භ කළේය. එනිසාම දරුවන් ඔහුව ඇමතුවේ “බනිස් මාමා” යන සුරතල් නාමයෙනි.

අපට හදිසියේ විජයානන්ද මහතා මතක් වූයේ වත්මන් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී කළ කාලීන යෝජනාවක් නිසාවෙනි. ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසන්නේ ලබන වසරේ (2024) සිට පාසල් දරුවන්ට සපත්තු ලබාදීමේ ව්‍යාපෘතියට අමතරව වයස අවුරුදු 12 ත් 18 ත් අතර පාසල් සිසුවියන් සඳහා සනීපාරක්‍ෂක තුවා ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරන බව ය. දේශපාලන භේදයෙන් තොරව අධ්‍යාපන ඇමැතිවරයා කරන මෙම යෝජනාව සාර්ථක කර ගැනීමට සැම දෙනාගේම සහයෝගය ලබාදිය යුතුය. පවතින ආර්ථික අර්බුදය හමුවේ තුන්වේලවත් තම දරුවන්ට කන්න දීමට නොහැකිව සිටින දෙමාපියන්ට දරුවන්ගේ අමතර වියදම් දැරීම පවා දුෂ්කර ය. විශේෂයෙන් ගැහැනු දරුවන් මුහුණ දෙන සංවේදී ප්‍රශ්නයන් දෙස ඇමැතිවරයාගේ අවධානය යොමුවීම ගැන අපගේ ප්‍රණාමය පුද කිරීමට කැමැත්තෙමු.

සනීපාරක්‍ෂක තුවා ගැන සඳහන් කරන විට පසුගිය ජනාධිපතිවරණ ඡන්දය ගැන ද අපගේ මතකය අනිවාර්යයෙන් ම අවදි විය. එහිදී ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව ප්‍රතිවාදියා ලෙස තරග කළ සජිත් ප්‍රේමදාස මහතා සිය දේශපාලන වේදිකාවේදී සඳහන් කළේ තමා ජනාධිපති ධුරයට පත් වූ වහාම සිසු දැරියන් පෙළෙන ප්‍රශ්නයක් බවට පත්වී ඇති සනීපාරක්‍ෂක තුවා නොමිලේ ලබාදීමට කටයුතු කරන බවයි. මෙම යෝජනාව ගැන එදා දේශපාලන වේදිකාවේදී සමහරු සජිත් ප්‍රේමදාස මහතාට මඩ ගැසුවේය. ඇතැම්හු ඔහුට ‘පෑඩ් මෑන්’ ලෙස අපහාස කළහ. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වුවත් ඔහුගේ යෝජනාව අතිශය වැදගත් බව මේ මොහොත වන විට පසක් වී තිබේ. අද ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ක්‍රියාත්මක කිරීමට යන්නේ ද එම යෝජනාවයි. දේශපාලනයේදී පක්‍ෂ අතර විවිධ මතවාද තිබිය හැකිය. එහෙත් යහපත් යෝජනා ආණ්ඩු පක්‍ෂයෙන් ආවත්, විපක්‍ෂයෙන් ආවත් ඊට සහයෝගය ලබාදීම මහත්මා දේශපාලනයේ ලක්‍ෂණයක් බව කිව යුතුය. එනිසාම රටට පක්‍ෂ, රටට හිතැති යෝජනා කවුරු ගෙන ආවත් පාට කණ්ණාඩිවලින් නොබලා සහයෝගය ලබාදෙන්නේ නම් එය අගය කළ යුතුය. එලෙස ක්‍රියා කරන්නේ නම් රටේ පවතින බොහෝ අර්බුදවලට විසඳුම් සොයා ගැනීමට හැකි වනු ඇත.

පාසල් දරුවන් ගැන කතා කළ නිසාම මේ මොහොතේ පාසල් දරුවන් මුහුණ දෙන තවත් සංවේදී කාරණා කීපයක් ගැන ද අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු යැයි අපි විශ්වාස කරන්නෙමු.

පවතින ආර්ථික අර්බුදය නිසාම දෙමාපියන් හිඟමනට වැටීම නිසා අද වන විට දරුවන්ට නිසි පෝෂණයක් ලැබෙන්නේ නැත. මස්, මාළු, කිරි, බිත්තර ඇතුළු වැඩි පෝෂණයක් සහිත ආහාර දරුවන්ට ලබාදීම පවතින ආර්ථික අර්බුදය හමුවේ දෙමාපියන්ට අභියෝගයකි. විශේෂයෙන් යමක් කමක් කර කියා ගත නොහැකි දුප්පත් පවුල්වල දරුවෝ මේ නිසා අපමණ පීඩාවන්ට පත්ව සිටිති. එම දරුවන්ට පාසලට එද්දී පෝෂණය සහිත ආහාර වේලක් ගෙන ඒමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. පාසලේදී ගන්නා දිවා ආහාරය සඳහා කලටි පොල් ගෙන ආ දරුවන් ගැන ද වාර්තා වෙන්නේ අප රටෙනි. එනිසාම පාසල් දරුවන්ට පෝෂණීය දිවා ආහාර වේලක් පාසලේදී ලබාදීමට යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ නම් එය ඉතා කාලෝචිතය.

මේ වන විට දරුවන් පෙළෙන තවත් ප්‍රශ්නයක් වන්නේ අභ්‍යාස පොත්, පෑන්, පැන්සල් ඇතුළු පාසල් උපකරණවල මිල ඉහළ යෑමයි. පාසල් දරුවන්ට මේවා සාධාරණ, දැරිය හැකි මිලකට ලබාදීමට ගත හැකි සෑම පියවරක්ම ගත යුතුය.

පාසල් දරුවන් වගේම දෙමාපියන් ද පීඩනයට පත්වෙන තවත් කාරණයක් වන්නේ ටියුෂන් හෙවත් අමතර පන්තියි. දරුවන්ගේ ප්‍රතිඵල ඉහළ නංවා ගැනීම සඳහා දෙමාපියන්ට අකැමැත්තෙන් වුවද තම දරුවන් ටියුෂන්වලට යැවීමට සිදුව ඇත. ගුරුවරුන්ගේ දරුවන්ට පවා ටියුෂන් නැතිව බැරිව ගොසිනි. ඊට හේතුව කුමක්ද? පාසලේදී නිසි ලෙස විෂයධාරා ආවරණය නොවන්නේද? ඒ සඳහා ගුරුවරු යාවත්කාලීන වී නොමැතිද? මේ ගැන විද්‍යාත්මකව සොයා බැලීමක් කළ යුතුය. ඒ ගැන අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය. තවදුරටත් ටියුෂන් පන්ති පැවැත්වෙන්නේ නම් ඒවා නියාමනය කිරීමට මෙන්ම දරුවන්ට සාධාරණ මිලක් ගාස්තු ලෙස අය කිරීම වැනි කාරණා ගැන ද සොයා බැලිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment