පාස්කු සිද්ධිය: ඉබ්‍රාහිම් සහෝදරයාට තෙවැනි වරටත් ඇප නෑ

97

සිය සහෝදරයන් හා සහරාන් හෂීම් ප්‍රමුඛ පිරිසක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන බව දැන දැනත් ඒ බව පොලිසියට නොදැන්වීම ඇතුළු චෝදනා එල්ලවී ඇති පාස්කු ප්‍රහාර මාලාව සිදුකළ බෝම්බකරුවන් දෙදෙනකුගේ සහෝදරයකු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (06දා) තෙවන දිනටත් ප්‍රතික්‍ෂේප කළේය.

ස්මයිල් අහමඩ් නමැති එම විත්තිකරු වසර හතරක කාලයක් තිස්සේ රක්‍ෂිත බන්ධනාගාරගත කර තැබීම ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණක් නොවන බව පෙන්වා දෙමින් මහාධිකරණ විනිසුරුවරයා විත්තිය කළ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය.

2019.4.21 වැනිදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී හා ෂැංගිලා හෝටලයේදී බෝම්බ පුපුරුවාගත් ස්වයං ඝාතකයන් වන මොහොමඩ් ඉබ්‍රාහිම් ඉන්ෂාන් අහමඩ් මොහොමඩ් ඉබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්ගේ සහෝදරයකු වන එම විත්තිකරුට අමතරව ඔහුගේ පියාට හා තවත් සහෝදරයකුට එරෙහිව නීතිපති එම නඩුව පවරා තිබිණි. එම නඩුව කඩිනමින් විභාගයට ගෙන අවසන් කිරීමට පියවර ගන්නා බවද විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දුන් විනිසුරුවරයා නඩුවේ විභාගය සඳහා ලබන සැප්තැම්බර් 22 වැනිදා කැඳවීමට නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment