පිටකොටුව ගිනියම් වෙයි – ජන අරගල විරෝධයට කඳුළු ගෑස් – ජල ප්‍රහාර

317

දෙනමක් ඇතුළු 29ක් අත්අඩංගුවට
පොලිසියේ 5ක් ඇතුළු 15කට තුවාල

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය සමග සහයෝගයෙන් කටයුතු කරන ජන අරගල ව්‍යාපාරය විසින් පිටකොටුවේදී ඊයේ (20 දා) පස්වරුවේ පැවැත්වූ විරෝධතාවකට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ පොලිසිය භික්‍ෂූන් වහන්සේ දෙනමක් ඇතුළු විරෝධතාකරුවන් 29 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

පිටකොටුව ගිනියම් වෙයි - ජන අරගල විරෝධයට කඳුළු ගෑස් - ජල ප්‍රහාර

එම අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් තිදෙනකු ද සිටින බව ද පොලිසියේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

විරෝධතාකරුවන් කොටුව දුම්රිය ස්ථානය අසලින් ඊයේ පස්වරු 2.00ට පමණ විරෝධතා පා ගමන පිටකොටුව දෙසට ගමන් ඇරඹූ අවස්ථාවේ පොලිසිය ඔවුන්ට කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාර එල්ල කරන්නට වීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගැනිණි.

එහිදී විරෝධතාකරුවන් 10 දෙනකු සහ පොලිස් නිලධාරීන් පස්දෙනකු ද තුවාල ලබා තිබේ.

අයි.එම්.එෆ් මර උගුල පරදවමු, බදු බර, බඩු මිල පහත හෙළනු ඇතුළු සටන් පාඨ කීපයක් මුල්කරගෙන ඔවුන් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබිණි.

අපි හඬනැගුවේ ජනතාවට සිදුව ඇති අසාධාරණය වෙනුවෙන්. පාලකයන් ඒවට ඇහුම්කන් දෙන්නේ නැතුව මේ බදු ගෙවන අහිංසක මිනිස්සු අත්අඩංගුවට ගත්තා. අපි දැන් විසිරුනත් මේකට එරෙහිව ඉදිරියේදී රටේම ජනතාව පෙළගස්වනවා. යැයි ජන අරගල ව්‍යාපාරයේ කමිටු සාමාජික වසන්ත මුදලිගේ මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම විරෝධතා පා ගමනට අරගල ක්‍රියාකාරී ළහිරු වීරසේකර, පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව යන මහත්වරු ද එක් වූහ. අත්අඩංගුවට පත් පිරිස ඊයේ සවස වනවිට කොටුව පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් තිබිණි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment