පොම්පකරුගේ ගෙලට ආයුධයක් තියා මහරගම ඉන්ධන හලක් කොල්ලකාලා

155

මහරගම ඉන්ධන පිරවුම්හලකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු එහි පොම්පකරුගේ ගෙලට තියුණු ආයුධයක් තබා ඔහු සන්තකයේ තිබූ රුපියල් හතළිස්පන් දහසක මුදලක් කොල්ලකා පලාගොස් ඇතැයි මහරගම පොලිසිය කියයි. එම සිද්ධියත් සමග එම ස්ථානයට ඉන්ධන හලේ සේවකයන් පැමිණෙනවාත් සමග කොල්ලකරුවන් තමන් පැමිණි යතුරුපැදිය ද අතහැර දමා පලා ගොස් ඇතැයි පැවසේ.

ඊයේ (29 දා) උදෑසන 6.00 ට පමණ අවස්ථා තුනකදී එම ස්ථානයට පැමිණ ඇති කොල්ලකරුවන් අවසන් අවස්ථාවේ රුපියල් 200 ක ඉන්ධන ලබාගෙන රුපියල් 500 යේ නෝට්ටුවක් පොම්පකරුට ලබාදී තිබේ. එහිදී ඉතිරි මුදල් ලබාදීම සඳහා මුදල් තැන්පත්කර තිබූ ලාච්චුව විවෘත කිරීමේදී යතුරුපැදියේ පැමිණි අනෙක් පුද්ගලයා එකවරම පොම්පකරුගේ ගෙලට තියුණු ආයුධයක් තබා එතෙක් ලාච්චුවේ තැන්පත් කර තිබූ රුපියල් හතළිස්පන් දහසක මුදලක් පැහැරගෙන තිබේ.

මේ අවස්ථාවේ ඉන්ධන හලේ අනෙක් සේවකයන් එම ස්ථානයට දිව ඒමේදී කොල්ලකරුවන් යතුරුපැදිය ද දමා පලාගොස් තිබේ.

සිද්ධියෙන් පොම්පකරුගේ ගෙල තුවාල වීමෙන් රෝහල්ගත කර ප‍්‍රතිකාර ලබාගෙන ඇත.

සැකකරුවන් පලා යෑමේදී ඔවුන් සන්තකයේ තිබූ බවට සැක කරන මුදල් පසුම්බියක් පොලිසිය සොයාගෙන තිබෙන අතර එහි වූ ජාතික හැඳුනුම් පතක් පොලිස් භාරයට ගෙන තිබේ.

කොල්ලකරුවන් අතහැර පලාගිය යතුරුපැදියේ අංකයට අනුව පරීක්‍ෂණ පැවැත්වූ පොලිසියට එහි හිමිකරු බොරැුලස්ගමුව වැව පෙදෙසේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇතත් එම යතුරු පැදිය කිසිවකු විසින් එදින (29 දා) නිවස ඉදිරිපිට නවතා තිබියදී සොරකම් කරගෙන ගොස් ඇතැයි අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඒකනායක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො. ප. රන්ජන් එදිරිසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ක‍්‍රියාත්මක වේ.

ඇන්ටන් ප‍්‍රනාන්දු – නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment