පෝෂණ මට්ටම පිරිහීමෙන් උසට සරිලන බර නැති දරුවන්ගේ ප්‍රතිශතය වැඩිවෙලා – වැඩිම බලපෑම නුවරඑළියේ ළමුන්ට – මහ බැංකු වාර්ෂික වාර්තාවෙන් හෙළිවෙයි

94

අවුරුදු පහට අඩු දරුවන් අතර උසට සරිලන බර නොමැති දරුවන්ගේ ප්‍රතිශතය සැලකීමේදී ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපය තුළ වඩාත් බලපෑමට ලක්වූ රටවල් අතර දෙවැනි ස්ථානයට පත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

ලෝක බැංකු සංඛ්‍යා ලේඛනවලට අනුව 2022 වර්ෂයේදී මෙරට ළමුන්ගේ පෝෂණ මට්ටම පිරිහීමට ලක්ව ඇති බවද එම වර්තාවේ සඳහන් වේ. 2022 වර්ෂය තුළ මෙරට අවුරුදු පහට අඩු ළමුන් අතර අඩුබර ළමුන්ගේ ප්‍රතිශතය සියයට 15.3 දක්වා වැඩිවී ඇත. එය 2021 වර්ෂයේදී සියයට 12.2ක්ව පැවතුනි.

මේ අතර 2022 වර්ෂය තුළදී අවුරුදු පහට අඩු ළමුන් අතර වයසට සරිලන උස නොමැති හා උසට සරිලන බර නොමැති දරුවන්ගේ ප්‍රතිශතය පිළිවෙළින් සියයට 9.2ක් සහ සියයට 10.1 දක්වා ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. 2021 තුළ අවුරුදු පහට අඩු ළමුන් අතර වයසට සරිලන උස නොමැති දරුවන්ගේ ප්‍රතිශතය සියයට 7.4කි. උසට සරිලන බර නොමැති දරුවන්ගේ ප්‍රතිශතය සියයට 8.2කි.

ආර්ථික ගැටළු හේතුවෙන් මෙරට ළමා මන්දපෝෂණ තත්ත්වය වර්ධනය වී ඇති අතර බොහෝ දිස්ත්‍රික්කවල ළමා මන්දපෝෂණ තත්වය අයහපත් ලෙස වර්ධනය වි ඇති බවද මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වර්තාවේ සඳහන් වේ. අවුරුදු පහට අඩු දරුවන් අතර ඉහළම අඩුබර ළමුන් ප්‍රතිශතය වු සියයට 23.9 නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. අඩුබර ළමුන්ගේ අඩුම ප්‍රතිශතය වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එය සියයට 9.8කි. ළමුන් අතර වයසට සරිලන උස නොමැති ළමුන්ගේ වැඩිම ප්‍රතිශතයක් වාර්තා වෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එය සියයට 22.8කි. එහි අඩුම ප්‍රතිශතය වන සියයට 5.1 කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වාර්ෂිත වාර්තාවේ සඳහන් වේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment