පෞද්ගලික අංශයට විශ‍්‍රාම වැටුපක් දෙන්න ඇමැති ලෝක බැංකුව සමඟ සාකච්ඡා කරයි

182

පෞද්ගලික අංශයට විශ‍්‍රාම වැටුපක් හා සමාජ ආරක්‍ෂණ ක‍්‍රමයක් හදන්න කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (20 දා) ලෝක බැංකු නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය.

පෞද්ගලික අංශයේ විධිමත් හා අවිධිමත් ලෙස සේවය කරන සේවක සේවිකාවන්ගේ වෘත්තීය සුබසාධනය ඇති කිරීම අරමුණු කරගෙන සමාජ ආරක්‍ෂණ හා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බවත් ඒ සඳහා ලෝක බැංකුවේ සහයෝගය ලබාදෙන ලෙසත් කම්කරු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡුාවකදී ඇමැතිවරයා ඉල්ලා සිටියේය. මෙරට රැකියා බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට රැකියා අවස්ථා විශාල ප‍්‍රමාණයක් රට තුළ ඇතත් එම රැකියා කිරීමට ඔවුන් උනන්දුවක් නොදක්වන්නේ රාජ්‍ය අංශයේ රැකියාවල ශක්තිමත් විශ‍්‍රාම වැටුප් හා සමාජ ආරක්‍ෂණ ක‍්‍රමයක් පවතින නිසා බවත් එම නිසා තරුණ තරුණියන් නිතරම රජයේ රැකියා අපේක්‍ෂා කරන බවත් මෙහිදී ඇමැතිවරයා විසින් පෙන්වා දී ඇත.

පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා සේවක අර්ථසාධක අරමුදල හා සේවා භාරකාර අරමුදල හැරුණු කොට ශක්තිමත් සමාජ ආරක්‍ෂණ හා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් නොමැති බව ද ඔහු පෙන්වා දී ඇත. මෙහිදී සමාජ ආරක්‍ෂණ හා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් ඇති කිරීම සඳහා ආරම්භක මූල්‍ය ආධාරයක් ඇමැතිවරයා ඉල්ලා සිටි අතර, මුදල් අමාත්‍යාංශයේ ජාතික ක‍්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව හා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා විධිමත් ආකාරයට එම ඉල්ලීම ලෝක බැංකුවට ඉදිරිපත් කරන ලෙස ඔවුන් ඇමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment