බලාපොරොත්තු අසීමිතයි: අවස්ථා සීමිතයි

653

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ බංග්ලාදේශය අතර තරගය ඊයේ (30 වැනිදා) රාත්‍රී අවසන් වීමට නියමිතව තිබුණි.

එම තරගයට පෙර මෙවර තරගාවලියේ සියලු කණ්ඩායම් තරග 6 බැගින් ක්‍රීඩා කර තිබූ අතර ඒ අනුව පකිස්තානය සහ බංග්ලාදේශය ඊයේ සහභාගී වූයේ මෙවර තරගාවලියේ ඔවුන් ගේ 7 වැනි තරගයටය.

එම තරගය ජයග්‍රහණය කිරීමට පකිස්තානය සමත් වූයේ නම් ඔවුන්ට තව ප්‍රසාද ලකුණු 2 ක් එකතු වන අතර එමෙන්ම පකිස්තානයේ අවසන් පූර්ව බලාපොරොත්තුවට ද එය යම්තමින් සවියක් වේ.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ සහභාගී වූ හයවැනි තරගය පෙරේදා පැවැති අතර ඉන් ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත් වූයේය.

එම පරාජයත් සමග ශ්‍රී ලංකාව පස් වැනි ස්ථානයේ සිට 6 වෙනි ස්ථානයට පසුබැස්ස අතර හයවෙනි ස්ථානයේ සිටි ඇෆ්ගනිස්තානය පස්වැනි ස්ථානය දක්වා ඉහළ ගියේය.

ඒ අනුව ශ්‍රී ලංකාවට අවසන් පූර්ව තරග සඳහා හෙවත් අවසන් කණ්ඩායම් හතර අතරට තේරී පත් වීම සඳහා මේ වන විට විශාල සටනක් දීමට සිදුව තිබේ. එහිදී ශ්‍රී ලංකාවට හිමි ඉදිරි තරග තුනම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ යුතු අතර එකී ජයග්‍රහණයන් පමණක්ම ඊට ප්‍රමාණවත් නොවේ.

ඉහළ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගයක් ද ශ්‍රී ලංකාව හිමි කරගෙන සිටිය යුතුය. මේ වන විට තරග 6 කට සහභාගී වී ඉන් තරග හතරක් පරාජය වී සිටින ශ්‍රී ලංකාව සතුව ඇත්තේ ප්‍රසාද ලකුණු හතරක් පමණි.

ඒ අනුව ඉදිරි තරග තුනම ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 10 දක්වා ඉහළ යනු ඇත. එහෙත් එම තරග තුනෙන් දෙකක් ඉන්දියාවට සහ නවසීලන්තයට එරෙහිවය. ඉන්දියාව යනු ප්‍රසාද ලකුණු සටහනේ හිනිපෙත්තේ සිටින කණ්ඩායම වේ. නවසීලන්තය පසුගිය වර අනුශූරයන් වන අතර තරග 6න් 4ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැන දිනා සිටී. අනෙක් තරගය බංගලාදේශයට එරෙහිවය.

කෙසේ වෙතත් හෙට (02 වැනිදා) තරගයේ දී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත් වුවහොත් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව තරග වරම් ගිලිහී යන අතර ඉන්දියාව අවසන් පූර්ව සටනට සුදුසුකම් ලබනවා ඇත.

මේ වනවිට තරග 6 කට සහභාගි වී තරග දෙකක් පමණක් ජයග්‍රහණය කර ඇති පකිස්ථානය සහ නෙදර්ලන්තය ද සිටින්නේ ශ්‍රී ලංකාව වැනිම අවදානම් කලාපයකය. එහෙත් බලාපොරොත්තු සහමුලින් ම බිඳී ගොස් නැත. අවස්ථාවන් නම් ඉතා සීමිතය.

කුෂාන් සුබසිංහ ඉන්දියාවේ මුම්බායි සිට

advertistmentadvertistment
advertistmentadvertistment