සල්ලි දීලා ෆයිල් හැංගූ කතාව පුළුවන් නම් පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිත් කියන්න

363

කරාතේ හිටපු නිලධාරීන්ගෙන් ක්‍රීඩා ඇමැතිට අභියෝගයක්

ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමය තමන්ගේ වැරදි වහගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුදල් දී ෆයිල් යට ගසා ඇතැයි ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය හැකි නම් පාර්ලිමේන්තුවෙන් පිටතට ඇවිත් කියන ලෙස ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමයේ හිටපු නිලධාරීහු මාධ්‍ය හමුවක් කැඳවමින් ඇමැතිවරයාට ඊයේ (27 වැනිදා) අභියෝග කළහ.

ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමයේ හිටපු සභාපති සිසිර කුමාර මහතා එහිදී අදහස් දක්වමින් පැවසූයේ ඇමැතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී සිදු කළ එම ප්‍රකාශය පදනම් විරහිත ද්වේශ සහගත ප්‍රකාශයක් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද එල්ල කළ චෝදනාවක් බවයි.

එම ප්‍රකාශය එකහෙළා ප්‍රතික්ෂේප කරන බවත් තමන්ගේ හිතවතුන් අතුරුපාලන කමිටුවකට පත්කර රටේ කරාතේ ක්‍රීඩාව වළපල්ලට ගෙන යෑමේ ප්‍රධාන කොටස්කරුවා බවට ක්‍රීඩා ඇමැතිවරයා පත්වී ඇති බවද සංගමයේ හිටපු සභාපති සිසිර කුමාර මහතා එහිදී සඳහන් කළේය.

විගණකාධිපතිවරයා කළ නිර්දේශයක් මත යැයි කියමින් ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමය කිසිදු වග විභාගයකින් තොරව විසුරුවා හැරීමට ලක් කළ ක්‍රීඩා ඇමැතිවරයා මේ වන තෙක් එම විගණකාධිපති නිර්දේශ මොනවා දැයි ඉදිරිපත් කළේ නැති බවත් හිටපු සභාපතිවරයා පැවසීය.

පත්කර තිබෙන අතුරු කමිටුව විසුරුවා හැර දින 60ක් ඇතුළත ඡන්දයකට නොයන්නේ නම් මේ අතුරු කමිටුව වෙනුවට රජයේ නිලධාරීන්ගෙන් යුත් ස්වාධීන අතුරු කමිටුවක් පත් කරන ලෙස ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවද හිටපු සභාපතිවරයා එහිදී කීය.

ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමයේ හිටපු උප සභාපති මහින්ද සුවාරිස් මහතා

එතුමා පාර්ලිමේන්තුවේදී තව දෙයක් කිව්වා. මේ ඇමැතිකමට ගොඩදෙනෙක් කෙළ හළං බලන් ඉන්නවලු. අපි කියන්නේ එහෙම කෙළ හළං බලන් ඉන්න මේ වැඩේ කරන්න පුළුවන් ඇමැතිවරයෙකුට ඇමැතිකම භාර දීලා යන්න කියලයි. 2010 වසරේ සිට ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමයට ලබා දීපු නිශ්චල චංචල දේපළ පිළිබඳ වාර්තාවක් ලබා දෙන්න කියලා අපි තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලා තිබෙනවා. තවමත් ඒ වාර්තාව ලබා දුන්නේ නැහැ.

පොලොන්නරුවේ පසුගියදා පැවති පාසල් කරාටේ තරගාවලියට නවක විනිසුරුවරුන් තමයි යොදවලා තිබුණේ. ඔවුන් නීතිය දන්නෙත් නැහැ. අත්දැකීම් ඇත්තෙත් නැහැ. ඒ නිසා ලොකු කලබලයක් එතන ඇති ඇතිවෙලා තිබුණා. පත් වුණු අතුරු කමිටුව විනිසුරුවරුන්ගේ කමිටුව විසුරුවා හැර තිබුණා. ඒ නිසා තමයි පළපුරුදු විනිසුරුවරුන් මේ තරගාවලියට යොදා ගැනීමට නොහැකි වුණේ.

ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමයේ හිටපු උප භාණ්ඩාගාරික වර්ජින් ප්‍රනාන්දු මහතා

විගණකාධිපතිවරයා ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමය සම්බන්ධයෙන් සිදුකළ නිර්දේශ ඇතුළත් කෙටුම්පත රහස් වාර්තාවක් විදිහට තමයි ඉදිරිපත් කළේ. හැබැයි අපේ අතට ඒ වාර්තාව පත් වෙන්නත් කලින් අපේ ප්‍රතිවාදීන්ට ඒ රහස් වාර්තාව ගිහිල්ලා තියෙනවා. මෙතන විනිවිදභාවයක් නෑ නේද? එම වාර්තාවෙ තියෙනවා 2021 ජාතික කරාතේ ශූරතාවලිය අපි පවත්වලා නෑ කියලා. එය සම්පූර්ණ අසත්‍යක්. බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අපි එම තරගාවලිය පැවැත්වුවා. ඒ පිළිබඳව සාක්ෂි අපට තියෙනවා.

අපේ සංගමයේ හිටපු උප සභාපතිවරයකු වන නදිත සොයිසා මහතාට විශේෂ විමර්ශන ඒකකයෙන් නොයෙක් පීඩා එල්ල වුණා. ඔහු විදේශගතව සිටියදී ඔහුගේ දෙමව්පියන් බියවද්දා තර්ජනය කර තමන්ට වුවමනා ආකාරයට බලෙන් ප්‍රකාශ අරගෙන තිබුණා. ඒ සියල්ල පිළිබඳව පොලිසියේ පැමිණිලි කර තිබෙනවා. ඒ වගේම අපේ හිටපු භාණ්ඩාගාරිකවරයා නොයෙක් හේතු මත කියමින් 37 වතාවක් විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමයේ හිටපු ලේකම් කීර්ති බස්නායක මහතා ද එහිදී අදහස් දැක්වීය.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment