බ්‍රිතාන්‍ය අගමැතිනි ලීසා ට්‍රස් ඉල්ලා අස්වීමට මුල් වූයේ බදු කපාහැරීමේ වැඩපිළිවෙළද?

270

පවුමේ අගය ද පහත වැටෙයි

බ්‍රිතාන්‍ය අගමැති ධුරයට සුදුස්සකු නම් කරන තුරු තමා ධුරයේ රැඳී සිටින බව හිටපු අගමැතිනි ලීසා ට්‍රස් ප්‍රකාශ කර ඇත. ඇයට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවූයේ බදු කපාහැරීමේ වැඩසටහන නිසාය. මේ නිසා මූල්‍ය වෙළෙඳපොළ දැඩි කම්පනයකට ලක්වී රට තුළ ආර්ථික අර්බුදයක් මතුවිය.

47 හැවිරිදි වියේ පසුවන ලීසා ට්‍රස් කෙරේ කොන්සර්වේටිව් මන්ත්‍රීවරු 50ක් අකමැත්ත දක්වා ඇතැයි වාර්තා වේ. නව අගමැති ලෙස රිෂි සුන්ක් සහ හිටපු අගමැති බොරිස් ජොන්සන් තරග කරන බව හෙළිවී ඇත. ලීසා ට්‍රස් අස්වීමට පෙර ස්වදේශ ලේකම් බ්‍රෙමර්ස් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ලීසා ට්‍රස් අගමැති ධුරය දරුවේ දින 44 කි. ඇගේ බදු කපාහැරීමේ වැඩසටහනට කොන්සර්වේටිව් මන්ත්‍රීවරු බහුතරයක් තුළ අකමැත්ත පළවී තිබිණි. ලීසා ට්‍රස්ගේ ඉල්ලා අස්වීම ගැන බ්‍රිතාන්‍ය මාධ්‍ය පැවසුවේ කොන්සර්වේටිව් පක්‍ෂය තුළ දැඩි අර්බුදයක් ආරම්භ වී ඇති බවයි. බ්‍රිතාන්‍ය තුළ මෙම ආර්ථික අර්බුදය හිටපු අගමැති බොරිස් ජොන්සන් සමයේදී ආරම්භ වී තිබුණි. එහෙත් ලීසා ට්‍රස්ට ඊට මුහුණ දීමට සිදුවිය. ඊට පෙර රිෂි අගමැති ලෙස පත්වනු ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය විශ්වාස කළත් එහෙත් සුපිරි කෝටිපතියකු වූ රිෂිට සිදුවූයේ ඔහුගේ බිරිය බදු නොගෙවීමේ සිද්ධීන්වලට මුහුණ දීමටය. එසේම රිෂි ඉන්දීය සම්භවය ඇති අයෙකි. විදේශිකයකු බ්‍රිතාන්‍යයේ අගමැති ධුරයට පත්වීම කෙරේ කොන්සර්වේටිව් පාක්ෂික මන්ත්‍රීවරු එතරම් කැමැත්තක් දැක්වූයේ නැත.

එහි ප්‍රතිඵලය වූයේ රිෂි අගමැති ධූර සටනින් පරාජය වීමය. ලීසා ට්‍රස් අගමැති ධුරයට පත්වූයේ අනතුරුවය. ඇගේ පාලන සමය තුළ බ්‍රිතාන්‍ය ඉදිරියට යනු ඇතැයි බලාපොරොත්තු වුවත් එම පාලනය එරට ආර්ථිකයට පාරා වළල්ලක් විය. බ්‍රිතාන්‍ය මාධ්‍ය පැවසුවේ රාත්‍රි යාමයේ ජංගම දුරකථන පණිවුඩවලින් කොන්සර්වේටිව් මන්ත්‍රීවරු ලීසාට එරෙහිව තොරතුරු හුවමාරු කරගත් බවයි.

ලීසා අගමැති ධුරයට පත්වූයේ තමා සටන්කාමියකු යැයි පවසමිනි. එහෙත් ඇගේම පක්‍ෂය ඇයට එරෙහි විය. එහි ප්‍රතිඵලය ඇයට අගමැති ධුරයෙන් ඉවත් වීමට සිදුවීමයි. බ්‍රිතාන්‍යයේ තෙවැනි කාන්තා අගමැතිනිය ලීසා ට්‍රස්ය. මේ අතර හිටපු කොන්සර්වේටිව් අගමැති බොරිස් ජොන්සන් පැවසුවේ තමා හිටපු අගමැති චර්චිල් මෙන් ක්‍රියාකරන බවයි. මේ පසුබිම මැද මීළඟ බ්‍රිතාන්‍ය අගමැති ලෙස බොරිස් ජොන්සන් පත්වීමට ඉඩ ඇතැයි වාර්තාවේ. එහෙත් කලින් අගමැති ධුරයට තරග කළ රිෂි සුන්ක්ට ද මන්ත්‍රීවරු පිරිසක් කැමැත්ත දක්වා තිබේ. මේ තත්ත්වය මත බ්‍රිතාන්‍යයේ ආර්ථිකයද බරපතළ තත්ත්වයට පත්වී තිබේ. එහෙත් රජය ඊට අදාළ තොරතුරු වසන් කර ඇතැයි කොන්සර්වේටිව් පක්‍ෂ මන්ත්‍රීවරු චෝදනා කරති.

බ්‍රිතාන්‍යය තුළ පැවති විශාලතම ආර්ථික අර්බුදය මෙය බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කර තිබේ. එම ආර්ථික අර්බුදයට බලපෑ තවත් කරුණක් වූයේ යුක්රේන යුද්ධයයි. යුක්රේනයට ස්ටර්ලින් පවුම් මිලියන ගණනක අවි ආයුධ මෙන්ම ආර්ථික ආධාර දීමට ද බ්‍රිතාන්‍යයට සිදුවිය. නේටෝ සංවිධානයට අර්මුදල් සැපයීමට ද බ්‍රිතාන්‍ය බලධාරීන්ට සිදුවීමෙන් එරට ප්‍රශ්න උග්‍රවිය. එසේම රුවන්ඩා අනාථයන් බ්‍රිතාන්‍යයට ඒම වැළැක්වීම සඳහා රුවන්ඩාවට අරමුදල් දීමට ද බ්‍රිතාන්‍යය ක්‍රියා කළේය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment