බි්‍රතාන්‍යයෙන් සොයා ගත් නව සමනල විශේෂයකට දුෂ්ට චරිතයක නමක් තබයි

279

එංගලන්ත විද්‍යාඥයන් පිරිසක් විසින් අලුතින් හඳුනාගත් සමනල ප්‍රභේදයකට ප්‍රකට බටහිර අධි මනඃකල්පිත නවකථාවක් වන ‘ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ’ නවකතාවේ සඳහන් දුෂ්ට චරිතය වන ‘සවුරෝන් ’ යන නම තබා ඇත.

එංගලන්ත ජාතික ලේඛකයකු වන ජේ.ආර්.ආර්. ටොල්කියෙන් විසින් රචිත 1954 වර්ෂයේ ප්‍රථම වරට පළ කරන ලද ‘ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ’යන නවකථාවේ දුෂ්ට චරිතයේ නම මෙම සමනල ප්‍රභේදයට තබා ඇත්තේ එම දුෂ්ට චරිතයේ දිලිසෙන ඇස්වල ඇති සෑම ලක්ෂණයක්ම සිහිපත් කරවන කළු පැහැති වළලු එම සමනල විශේෂයේ තැඹිලි පැහැති පියාපත්වල අන්තර්ගතව තිබීම නිසා බව ලන්ඩනයේ පිහිටි ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරය විසින් නිවේදනය කර තිබේ.

මෙසේ අහිංසක සමනල ප්‍රභේදයකට අසාමාන්‍ය ලෙස දුෂ්ට චරිතයක නමක් යෙදීමෙන් එම සමනලයන් කෙරෙහි මහජනයාගේ අවධානය වැඩි වශයෙන් යොමු වී ඒ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වැඩිදියුණු කිරීමට මහජන සහාය හිමි වනු ඇතැයි අපේක්ෂා කරන බව එම කෞතුකාගාරය පවසයි. මෙසේ ‘සවුරෝන්’ යනුවෙන් නම් කර ඇති නවතම සමනල ප්‍රභේදයට සමනල විශේෂයන් දෙකක් අයත් වන අතර එම විශේෂ සවුරෝනා ට්‍රයැන්ගියුලර් සහ සවුරෝනා අවුරිගේරා යනුවෙන් නම් කර තිබේ. මෙම සමනල ප්‍රභේදයට තවත් සමනල විශේෂයන් ගණනාවක් ඉදිරියේදී එකතු වනු ඇතැයි විද්‍යාඥයෝ අපේක්ෂා කරති.

අදාළ සමනල ප්‍රභේදයට සවුරෝන් යන නම තබා ඇත්තේ ලන්ඩනයේ පිහිටි ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ සමනලයන් පිළිබඳ භාරකරු වන ආචාර්ය බ්ලන්කා හියුර්ටාස් විසිනි. ඇය මෙම නව සමනල ප්‍රභේදය පිළිබඳව දශකයක පමණ කාලයක් මුළුල්ලේ පරීක්ෂණ සිදු කළ ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකාවකි. තිස්දෙනකුගෙන් සමන්විත පර්යේෂකයන් කණ්ඩායමක් විසින් මෙම නව සමනල ප්‍රභේදයේ ලක්ෂණ වෙන් කර හඳුනා ගැනීම සඳහා විවිධ සමනල ප්‍රභේදයන් 400ක් පමණ අධ්‍යයනයට ලක් කර තිබිණි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment