බොරැල්ල පල්ලියේ බෝම්බයට ඇල්ලූ – දොස්තර ගෙදර අවි ගබඩාවක්

869

බොරැල්ල සියලූ සාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 76 හැවිරිදි විශ‍්‍රාමික… වෛද්‍යවරයාගේ නිවසේ ඉතාම රහසිගතව පවත්වාගෙන ගිය අවි ගබඩාවක් පොලිසිය මගින් සොයාගෙන ඇත.

මෙහිදී සොයාගත් අවි ආයුධ අතර පිස්තෝල 4 ක්, රිවෝල්වරයක්, කඩු 2 ක්, රම්බෝ පිහියක් සහ වර්ගය හඳුනාගත නොහැකි ගිනි අවියක් තිබෙන බව පොලිසිය පවසයි.

බොරැල්ල පල්ලියේ බෝම්බයට ඇල්ලූ - දොස්තර ගෙදර අවි ගබඩාවක්

මෙම විශ‍්‍රාමික වෛද්‍යවරයා කුමන හේතුවකට මෙම ආයුධ එක්රැුස් කළේද යන්න මෙතෙක් හෙළිදරව් වී නොමැත.

මොහු පොලිසිය හමුවේ ප‍්‍රකාශකර ඇත්තේ විනෝදාංශයක් ලෙස තමන් ගිනි අවි එක්රැස් කරන බවයි.

සැකකාර වෛද්‍යවරයා බොරැුල්ල දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධියට මෙන්ම නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වැසිකිළිය තුළ බෝම්බයක් තැබීමේ සිද්ධියට ද සම්බන්ධ බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

බොරැල්ල දේවස්ථානයේ බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පනාමුර ප‍්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත මෙම සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

මහරගම ප‍්‍රදේශයේ පිහිටි වෛද්‍යවරයාට අයත් තෙමහල් නිවසේ පහළ මාලයේ නිදන කාමරයක මෙම ආයුධ තොගය ගබඩාකර තිබී ඇත.

මෙම වෛද්‍යවරයා පිළියන්දල ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතර පනාමුර ප‍්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරු එම වෛද්‍ය මධ්‍යස්ථානයේ ආරක්‍ෂක නිලධාරියකු ලෙස වසර අටකට ආසන්න කාලයක් සේවය කළ අයෙකි.

වෛද්‍යවරයාගේ නිවසට පොලිස් ආරක්‍ෂාව යොදවා ඇති අතර අත්අඩංගුවට ගත් අවි ආයුධ රජයේ රස පරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකාර වෛද්‍යවරයා පිළියන්දල රෝහලේ දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරියා ලෙස ද දීර්ඝ කාලයක් සේවය කළ අයෙකි.

සැකකාර වෛද්‍යවරයා සහ පනාමුර ප‍්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වරාය පොලිසියේ රඳවාගෙන ප‍්‍රශ්න කරගෙන යයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කොළඹ දකුණ කොට්ඨාස අපරාධ අංශය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු, කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment