බොරු පැමිණිල්ලක් කළ විත්තිකරු එස්.එස්.පී.ට වන්දි ගෙවයි

1571

පොලිස් බලතල යොදා ගනිමින් තමන්ට මරණීය තර්ජන එල්ල කරන බවට පොලිස්පති සහන මැදිරියට අසත්‍ය පැමිණිල්ලක් සිදුකළ බවට වරද පිළිගත් විත්තිකරුවෙක් ඊයේ (10 දා) කොළඹ මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ඉදිරියේදී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී. ඩී. එස්. සුරියආරච්චි මහතාට හා ඔහුගේ බිරිඳ වන සුනීතා සුරියආරච්චි මහත්මියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙව්වේය.

විත්තිකූඩුවෙන් බැස පැමිණිල්ලේ සාක්ෂිකරුවන් අසලට ගොස් එකී වන්දි මුදල භාරදෙන ලෙසට අධිකරණය කළ නියෝගය අනුව පතිරණලාගේ සිසිර සේනාරත්න නමැති එම විත්තිකරු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අසලටම ගොස් එම වන්දි මුදල දෑතින්ම පිරිනැමීය. විවිධ තනතුරු දරන පොලිස් නිලධාරීන් විසින් සිවිල් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් හා හිංසා කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වී වන්දි ගෙවීම් නිරතුරුවම අසන්නට දකින්නට ලැබුණත් සිවිල් පුරවැසියකු පොලිස් නිලධාරියකුට වන්දි ගෙවීමක් මෑත අධිකරණ ඉතිහාසයේ දක්නට ලැබීම විරලය. සුරියආරච්චි මහතා අවිස්සාවේල්ල ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එකී තර්ජන එල්ල කළ බවට එම විත්තිකරු 2012 වසරේදී පොලිස්පති සහන මැදිරියට පැමිණිලි කර තිබිණි. එයට අමතරව ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක අමාත්‍යවරයා හා ජනාධිපතිවරයාට ද ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබූ අතර සිදු කළ විමර්ශනවලදී එකී පැමිණිලි ද්වේශ සහගතව කළ අසත්‍ය පැමිණිලි බවට අනාවරණය වූයෙන් එම විත්තිකැරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර නඩු පැවරීමට නීතිපතිවරයා පියවර ගෙන තිබිණි.

සාධාරණව හා නීතියට අනුව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුට එරෙහිව එලෙස අසත්‍ය පැමිණිලි කිරීම ඉතා බරපතළ වරදක් බවත් එකී විත්තිකරුට උපරිම දඬුවම් ලබාදෙන ලෙසත් නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කොට තිබිණි. ඒ අනුව එවැනි වැරදි සිදු නොකරන බවට පොරොන්දු වූ විත්තිකරු වසර තුනක කාලයකට ඇඟබැඳීමකට එනම් බැඳුම්කරයකට ලක්කිරීමට නියම කෙරිණි. එමෙන්ම පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට පෙර කී වන්දිය ගෙවීමට මහාධිකරණය විසින් නියම කොට තිබූ අතර වන්දි ගෙවීම සඳහා ඊයේ (10 දා) එම නඩුව කැඳවිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment