භූ විද්‍යා සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් දොට්ට දාන්න – ෂානක්කියන් රාසමාණික්කම්

199

භූ විද්‍යා, පතල් හා කැණීම් කාර්යාංශයේ වත්මන් සභාපති සහ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා දූෂිත නිලධාරීන් බැවින් ඔවුන් වහාම එම තනතුරුවලින් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි දෙමළ ජාතික සංධාන මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (02දා) සඳහන් කළේය.

එහි වත්මන් සභාපතිවරයා පත්ව ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පාලන කාලයේ වුවද එම පත්වීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයා ද දැනුවත් නැතැයි මන්ත්‍රීවරයා කීහ.

එම ආයතනයේ වත්මන් සභාපතිවරයා පත්ව ඇත්තේ එහි හිටපු සභාපති අනුර වල්පොළ මහතා ඇතුළු නිලධාරීන් කෝප් කමිටුවට කැඳවා තිබූ අවස්ථාවක බවද හෙතෙම පැවසීය.

එහි වත්මන් සභාපති වනුයේ එස්. එච්. පී. මංජුල නමැත්තකු බවත් ඔහු ෂාෆි නගර් නම් ප්‍රදේශයේ වැලි කැණීම් සිදු කිරීමට බලප්‍රයක් ඇති සහ එම වැලි ගබඩා කිරීමට ද බලපත්‍රයක් ඇති අයකු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු එක්තරා සමාගමක නමින්, එම බලපත්‍රය ලබාගෙන ඇති අතර ඔහුට එමගින් වැලි කියුබ් ලක්ෂයක් පටවාගෙන යෑමට අවස්ථාව හිමිව ඇතැයි ද ඒ මහතා පැවසීය.

රටේ වැලි සම්පත ආරක්‍ෂා කළ යුතු පුද්ගලයා වැලි කැණීම සඳහා බලපත්‍රයක් ලබාගෙන තිබීම බරපතළ වරදක් බවත් ඔහු එම බලපත්‍රය ද ලබාගෙන ඇත්තේ ත්‍රිකුණාමලය වනජීවී අධ්‍යක්‍ෂවරියගේ අනුදැනුමකින් තොරව බවත් හෙතෙම පැවසීය.

භූ විද්‍යා හා පතල් කර්මාන්තයේ සියලුම වංචා හා දූෂණවලට අතහිත ලබා දී ඇත්තේ එහි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා බවත් එබැවින් එම නිලධාරීන් දෙදෙනා වහාම සේවයෙන් පහ කරන ලෙස ද ඉල්ලා සිටින බවත් ඔහු කීවේය.

එසේ නොකරන්නේ නම් තමන් ඡාත්‍යන්තර මාධ්‍ය හමුවක් පවත්වා ඒ පිළිබඳ සියලු විස්තර හෙළිකරන බව රාසමාණික්කම් මහතා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment