මම ක්‍රිකට් ආයතනයට උපදෙස් දුන්නේ 2018දී – පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර

96

පසුගිය 13 වැනිදා මුදල් ඇමැතිවරයා ලෙසද කටයුතු කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අය-වැය ලේඛනය පිළිබඳව මෙන්ම කෝප් කමිටුවේදී හස්ත මුද්‍රාවෙන් කළ සංඥාව පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා දැක්වූ අදහස් මෙසේය.

ප්‍රශ්නය – පසුගිය 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අය-වැය පිළිබඳව ඔබගේ විග්‍රහය කුමක්ද?

පිළිතුර- මෙවර ඉදිරිපත් කරලා තිබෙන අය-වැය සාම්ප්‍රදායික අයවැයක් නොවෙයි. සම්ප්‍රදායිකව අය-වැයක් සකස් කිරීමේදී වියදම් ඇස්තමේන්තු පිළියෙල කරලා ආදායම් උත්පාදන මාර්ග හඳුනාගන්නවා. නමුත් අවාසනාවකට අපට වියදම් ඇස්තමේන්තු පිළියෙල කිරීමේදී සීමාවක් තිබෙනවා. ඒ වගේම ආදායම් ඇස්තමේන්තු විශාලව තබා ගන්න පුළුවන් කමකුත් නැහැ. එම නිසා වෙන්න ඇති ජනාධිපතිතුමා ලැබෙන විධියට වියදම් කරන අය-වැයක් සකස් කරන බව කිව්වේ.

එම නිසා මෙවර අය-වැය මූලික වශයෙන් ප්‍රතිපත්තිමය කාරණා මූලික කරගෙන ඉදිරිපත් කරන ලද එකක්. මෙම අය-වැයේ දී මූලික වශයෙන් සාකච්ඡාවට ගැනෙන්නේ ප්‍රතිපත්තිමය කාරණා. එම තත්ත්වය තුළ ප්‍රතිපත්තිමය කාරණා පිළිබඳව සාකච්ඡා කරන අය-වැයක සම්ප්‍රදායික ගති ලක්‍ෂණ තිබෙන අය-වැයක ගති ලක්‍ෂණ අන්තර්ගත වෙන්න පුළුවන් කමක් නෑ. නමුත් මෙම අය-වැය සම්ප්‍රදායික සමහර ගති ලක්‍ෂණ තිබෙනවා. ඒ කියන්නේ රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරලා තිබෙනවා. සමෘද්ධි සහනාධාරය වැඩි කරලා තිබෙනවා. ඒ වගේ සම්ප්‍රදායික ලක්‍ෂණත් තිබෙනවා. නමුත් 95% ක්ම තිබෙන්නේ ප්‍රතිපත්තිමය කරුණු. එම ප්‍රතිපත්තිමය කාරණා ඉෂ්ට කිරීම සඳහාත් ආරම්භක පිරිවැයක් ලකුණු කරලා තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය ජාතික තලයේ විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම සඳහා මිලියන 500ක් වෙන් කරලා තිබෙනවා. එම කටයුත්ත 2042 දක්වා ක්‍රියාත්මක වැඩපිළිවෙළක්. ඒ වගේම අනුරාධපුරයේ බෞද්ධ පුස්තකාලයක් සඳහා මුදල් වෙන් කරලා තිබෙනවා. එම නිසා මෙවර අය-වැය 95%ක් ප්‍රතිපත්තිමය කාරණාවලට මූලිකත්වය දුන්නු අය-වැයක් බව සඳහන් කිරීමට පුළුවන්කම තිබෙනවා.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිනුත් අය-වැය සඳහා යෝජනා ඉදිරිපත් කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. අය-වැය සකස් කිරීමේදී එම යෝජනා පිළිබඳව අවධානය යොමුකර තිබෙනවාද?

පිළිතුර- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ප්‍රධාන වශයෙන්ම යෝජනා 4ක් ඉදිරිපත් කළා. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප වැඩි කිරීම, සමෘද්ධිය සහ වෙනත් සහනාධාර වැඩි කිරීම, පොහොර සහනාධාරය ලබාදීම, ජනතාවට හිතකර ආර්ථික ප්‍රතිපත්තියක් සකස් විය යුතුය යන යෝජනා අපි විසින් ලබා දුන්නා. එම යෝජනා අපගේ පක්‍ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුතු ලිපියක් මගින් මුදල් ඇමැතිවරයා ලෙස ද කටයුතු කරන ජනාධිපතිතුමා වෙත යොමු කළා. එම යෝජනා පිළිබඳව යම් සැලකිල්ලක් දක්වා තිබෙන බව අය-වැය ලේඛනය පිළිබඳව සලකා බැලීමේදී පැහැදිලි වෙනවා.

ප්‍රශ්නය- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද අය-වැය යෝජනා පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වා නොමැති නිසා අය-වැයට එරෙහිව ඡන්දය ලබා දෙනවාද?

පිළිතුර- අය-වැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳව හෝ විරෝධය දැක්වීමත් පිළිබඳව සාකච්ඡාවක් මේ දක්වා පක්‍ෂය තුළ සිද්ධ වෙලා නැහැ. නමුත් අය-වැය පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පක්‍ෂයෙන් කිසිදු බලපෑමක් එල්ල වෙලා නෑ.

ප්‍රශ්නය- ප්‍රතිපත්තිමය කාරණා පිළිබඳව ජනතාව සතුටු වෙනවා නම් අපිත් සතුටු වෙන බව ඔබ මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා. ඒ කියන්නේ ජනතාව මෙම අය-වැය පිළිබඳව සතුටු වන්නේ නැහැ කියන එකද?

පිළිතුර- ජනතාව සතුටු වන්නේ ඔවුන්ගේ සිතුම් පැතුම් ඉෂ්ට වුවහොත් තමයි. ජනතාව සතුටු වන්නේ තමන්ට නිවාසත්, දරුවන්ට හොඳ පාසලක්, ලාභෙට කෑම, අඩු මිලට විදුලි බලය, ලාභෙට ගෑස්, ඉන්ධන ලැබුණොත් තමයි. මෙවර අය-වැයෙන් එම අවශ්‍යතා ඒ ආකාරයට ම ලබාදීමටපුළුවන් කමක් ලැබිලා නැහැනේ. ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තිබෙනවා පාඩු ලබමින් එම කටයුතු කරන්නේ නැහැ කියලා. විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයතනවල මේ වනවිට ප්‍රතිව්‍යුහගත කිරීමක් සිද්ධ වෙනවා. අපිත් මේ රටේ ජනතාවට ම තමයි අයිති. ඒ අනුවත් අපටත් කියන්න සිද්ධ වෙනවා ජනතාවට අමාරුයි කියන එක.

ප්‍රශ්නය- ලබන වසරේ දී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමතිව තිබෙනවා. එම නිසා මෙවර අය-වැය මැතිවරණ අය-වැයක් ලෙස හැඳින්වීමේ හැකියාවක් තිබෙනවා ද?

පිළිතුර- මෙවර අය-වැය මැතිවරණයක් ඉලක්ක කරලා ඉදිරිපත් කර තිබෙන බවත් එතරම්ම පේන්නේ නැහැ. අපේ රටේ තිබෙන ආර්ථික තත්ත්වය අනුව මැතිවරණයක් ඉලක්කකර අය-වැයක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ. මැතිවරණ අය-වැයකදී රජයේ වියදම වැඩි කරලා ජනතාවට සහන දීලා කැපී පෙනෙන දෙයක් කළ යුතුයි. නමුත් එහෙම ලක්‍ෂණත් මෙවර අය-වැයේ නැහැ.

ප්‍රශ්නය- කෝප් කමිටුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇති චෝදනා පිළිබඳව විමශර්නය කරමින් සිටියදී එම කමිටුවේ සභාපතිවරයා ලෙස හස්ත මුද්‍රාවෙන් ඔබ එම කමිටුව තුළ සිටි පුද්ගලයෙකුට නිහඬ වන ලෙසට සංඥා කළ බවට චෝදනා එල්ලවී තිබෙනවා. එම චෝදනාව පිළිබඳව ඔබට සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර- එම සභාව තුළදී කිහිප දෙනකු එකවර කතා කිරීමට උත්සාහ දරන විට එම සභාව මෙහෙයවා ගැනීම අපහසු කටයුත්තක් වනවා. එම අවස්ථාවේදීත් කිහිප දෙනෙකුම අදහස් දැක්වීමට උත්සාහ කළා. එම අවස්ථාවේදී තමයි මම දෙතොල මත ඇඟිල්ල තබා එක් මන්ත්‍රීවරයෙකුට කතා කරන්න ඉඩදෙන ලෙස අනිත් මන්ත්‍රීවරුන්ට සංඥා කළේ. මගේ අරමුණ වූයේ එම කමිටුවේ ගෞරවය ඒ ආකාරයෙන්ම රැක ගනිමින් බාධාවකින් තොරව එම කමිටු රැස්වීම පවත්වාගෙන යෑම පමණයි. එය වැරදි ආකාරයට අර්ථ දැක්වීම කනගාටුවට කාරණයක්.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඔබට සම්බන්ධයක් තිබෙන බවටත් චෝදනා එල්ලවී තිබෙනවා නේද?

පිළිතුර- වසර 2020 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන අවස්ථාව වන විට මම වසර 30 කට ආසන්න කාලයක් කොළඹ විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටියා. එම විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2016 වසරේදී මම වසර දෙකක වාර්ෂික නිවාඩු ලබාගෙන කොළඹ 07 වෝඩ් පෙදෙසේ, කොළඹ ව්‍යාපාර හා කළමනාකරණ පාසල ආරම්භ කළා. මම එහි සමාරම්භක ප්‍රධානියා බව මුළු රටම දන්නා කාරණයක්. එම ආයතනය මගින් දිවයිනේ බොහෝමයක් ව්‍යාපාර ආයතනවලට විධායක පුහුණුව, උපදේශනය සහ සංයුක්ත සැලසුම් සකස් කර දුන්නා. ශ්‍රී ලංකා රග්බි, ශ්‍රී ලංකා ක්‍රිකට්, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, හේලීස් සමාගම, මංචි බිස්කට් සමාගම වැනි ආයතන ගණනාවකට අප ආයතනයෙන් සේවාව සපයා තිබෙනවා.

2018 දී තිලංග සුමතිපාල මහතා සභාපති ධුරය දරපු කාලයේදී ක්‍රිකට් පාසලක් ආරම්භ කිරීම සඳහා වන සංකල්පීය පත්‍රිකාව සකස් කරදෙන ලෙස ඉල්ලා සිටියා. කොළඹ ව්‍යාපාර පාසල වෙනුවෙන් අප එම සංකල්පීය පත්‍රිකාව සකස්කර ක්‍රිකට් පාසල ආරම්භ කිරීමේ කටයුත්තට ප්‍රධාන උපදේශකයෙක් ලෙස සේවය සැපයීමටද එකඟ වූවා. නමුත් එම කටයුත්ත නිමාවකින් තොරව අවසන් වූවා. කෙසේ වුවත් ඒ වෙනුවෙන් අප කිසිදු අය කිරීමක් සිදුකර නැහැ. එසේ අය කළත් එය වෘත්තීමය සේවාවක් සැපයීම වෙනුවෙන් මිස එය අද මා දරන තනතුරේ වගකීම වෙනුවෙන් ලබාගත් අත්තිකාරමක් නොවෙයි. නමුත් කරුණු විකෘති කර එය එසේ හුවා දැක්වීමට උත්සාහ දැරීම කනගාටුවට කරුණක්.

ප්‍රශ්නය- ඔබගේ පුතා කෝප් කමිටුව තුළට එක්ක ගියේ කුමකටද? එය නීති විරෝධී කටයුත්තක් නේද?

පිළිතුර- මගේ කනිටු පුත් නීතිවේදී කනිෂ්ඨ බණ්ඩාර 2020 ඔක්තෝබර් 15 සිට මගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කරනවා.

නීති විද්‍යාලයේ විභාග සහ නීතිපති දෙපාර්තමේන්තුවේ පුහුණු කාල සීමාවේ හැර සෑම අවස්ථාවකම අවසර සහිතව මගේ කටයුතුවලට ඔහු සහභාගි වෙනවා. ඒ සඳහා අදාළ ලිපි ලේඛන මට ඉදිරිපත් කිරීමට පුළුවන්.

ප්‍රශ්නය- ඔබ කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස තවදුරටත් කටයුතු කරනවා නම් එම කමිටුවට මින් ඉදිරියට සහභාගි නොවන බව විපක්‍ෂයේ සමහර මන්ත්‍රීවරු ප්‍රකාශ කර තිබෙනවා.

පිළිතුර- කවුරු ආවත්, කවුරු නාවත් පාර්ලිමේන්තුවේ කමිටුවල කටයුතු ඒ ආකාරයටම ඉදිරියටත් සිද්ධ වෙනවා.

සාකච්ඡා කළේ
එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment