මම භාරගත්තේ ලොකු වගකීමක් – දුෂේනි මිහිරංගි

271

දුෂේනිගේම පිංකි වර්ෂන් එකක්

පසුගිය කාලයේ අපි පාර දිගේ යනකොට අඟුලාන හංදියේදි බංටිව හම්බ වුණා. මේ බංටි දුෂේනි මිහිරංගි කියන රංගන ශිල්පිණියව ජනප්‍රිය නිළිය කරල තමයි පස්ස බැලුවෙ. ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම බංටි ඒ තරම් හිට් වුණා. පාර දිගේ ගමන අවසන් වුණ ගමන් හැමෝම හිතුවෙ බංටිත් නැති වුණා කියල. ඒත් එහෙම වුණේ නැහැ. බංටි දැන් පිංකි විදිහට සල්ලි පොකුරු එක්ක වැඩ කරන්න පටන් අරන්. මේ ඒ ගැන දුෂේනි කියන කතාව.

මම භාරගත්තේ ලොකු වගකීමක් - දුෂේනි මිහිරංගි

● දුෂේනි” පිංකිට මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබෙන්නෙ?

බංටිගෙන් පස්සෙ මාස දෙකක විතර විරාමයකින් තමයි පිංකි එන්නෙ. මේ වන විට චරිතයට ලැබෙන්නෙ මිශ්‍ර ප්‍රතිචාරයක්. මොකද ප්‍රේක්‍ෂකයන් පිංකි විදිහට කෙනෙක්ව දැකල තිබුණ. ඒ නිසා ප්‍රේක්‍ෂකයන් මේ චරිතයත් එක්ක එකතු වෙන්න හුරු වෙමින් පවතිනව. නමුත් දැනට ලැබෙන ප්‍රතිචාර හොඳයි. මං බලාපොරොත්තු වෙනව තව සතියකින් දෙකකින් විතර බංටිව වගේම පිංකිවත් ආදරයෙන් වැළඳගනීවි කියල.

● ප්‍රේක්‍ෂකයො දොස් කියනවද?

දොස් කියල නෙමෙයි” මම රංගන ශිල්පිණියක් හැටියට අනිවාර්යයෙන් තේරුම් ගන්නව මිනිස්සු හුරු වෙලා තිබුණා කියල කලින් චරිතයට. ඒ නිසා ඉක්මණින්ම මටත් හුරුවෙයි කියල විශ්වාස කරනව.

මම භාරගත්තේ ලොකු වගකීමක් - දුෂේනි මිහිරංගි

● දුෂේනිට ශෙනායාගෙ පිංකි චරිතය වෙන්න ඕන නැහැ?

එක එක්කෙනාගෙ රංගන හැකියාවන් විවිධාකාරයි. මගේ පෞරුෂත්වය” රංගන කුසලතාව තව කෙනෙකුට වඩා වෙනස්. ඒ වෙනස්කම් එක්ක මම හිතනව ප්‍රේක්‍ෂකයාට දුෂේනිගේම පිංකි වර්ෂන් එකක් දැකගන්න ලැබෙයි කියල. අධ්‍යක්‍ෂවරයා සහ පිටපත් රචකයාත් මට කිව්වෙ දුෂේනි” ඔයාගෙම චරිතයක් ගොඩනගා ගන්න කියල වගේම ටික කාලයක් යනකොට මිනිස්සු ඒකට හුරුවෙයි කියල.

● ඔබ කොහොමද මේ අභියෝගයට සූදානම් වුණේ?

ඇත්තටම ප්‍රේක්‍ෂකයාට තිබුණ ප්‍රශ්නයම අපේ සෙට් එකටත් තිබුණා. ඒක හරිම සාධාරණයි. මොකද කෙනකුගේ දෙබස් තව කෙනෙක් ඇවිත් එකපාරට වගේ කියනකොට එතන ප්‍රශ්නයක් තියෙනව. නමුත් ශිවා අයියා මහ සද්ධා අයිය පුදුම සපෝට් එක්ක දුන්න චරිතය ගොඩදාගන්න. අභියෝගය ගැන කතාකළොත්” මේ වෙලාවෙ මම ගත්තෙ ලොකු අවදානමක්. ඒක මම පෞද්ගලිකවම දන්නව. නමුත් මම ආසයි අභියොගවලට. මට වුවමනා වුණා මට ඒක කරන්න පුළුවන් කියල ප්‍රේක්‍ෂකයාට පෙන්නන්න. සද්ධා අයියගෙ තිර රචනය ගැන වගේම ප්‍රේක්‍ෂකයාගේ ආදරය ගැනත් ලොකු විශ්වාසයක් මට තියෙනව. ඒ වගේම මගේ කුසලතාව ගැනත් මට විශ්වාසයි. ඒ නිසා මම බය නැතිව අභියෝගය භාර ගත්තා.

● චූටියගෙන් සපෝට් එක්ක ලැබුණද?

ඇත්තටම සාරංග අයියගෙන් ලොකු සපෝට් එකක් ලැබුණා. මම මේ ටෙලියට එකතුවෙනකොට කොටස් 45ක් ෂූටිං කරල තිබුණෙ. එයාල ඒ චරිතවලට අනුගත වෙලා ඉවරයි. අපේ කෲ එක වගේම විශේෂයෙන් ධනුෂ්ක අයියව මතක් කරන්න ඕන. ඔවුන්ගෙන් ලැබුණ සහයෝගයත් එක්ක මම දැනට කොටස් දහයකට පහළොවකට ආසන්න ප්‍රමාණයක් ෂූටිං කරල ඉවරයි.

● අලුත් ආරාධනා ලැබුණද?

අසනීප තත්ත්වයෙන් හිටපු නිසා පසුගිය කාලයේ ලැබුණ ආරාධනා කිහිපයක්ම භාරගන්න බැරි වුණා. ඉදිරියේදී මම රංගනයෙන් එකතු වුණ චිත්‍රපට කිහිපයක්ම තිරගත වීමට නියමිතව තියෙනවා වගේම ආරාධනා කිහිපයකුත් ලැබිල තියෙනව. නමුත් ‘සල්ලි පොකුරු. එක්ක මේ දවස්වල ටිකක් කාර්යබහුලයි.

● බංටිට සමුදීම දුකක්ද?

අනිවාර්යයෙන්ම දුකක් තියෙනව. නාට්‍ය අවසන් වුණ දවසෙ ළඟ හිටපු යාළුවෙක් දාල ගියා වගේ දුකක් දැණුනා. ඒක අපේ කණ්ඩායමට වගේම ප්‍රේක්‍ෂකයන්ටත් දැණුන දෙයක්. බංටි කියන්නෙ මගේ ජීවිතය වෙනස් කළ චරිතයක්. ඒ චරිතයේ කොටසක් හදවතේ කොහේ හරි තැනකට වෙලා හැමදාම මං එක්ක ඉඳීවි.

● අගුලානේ බංටි දුශේනිව ජනප්‍රිය නිළිය කළා?

ඔව් ඇත්තටම” බංටි කියන්නෙ වාසනාවන්ත චරිතයක්. ඒ වගේ චරිතයක් නැවත මට කරන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නය මට තියෙනව. චරිතය ජනප්‍රිය වේවි” නමුත් බංටි කියන්නෙ ජීවිතයේ එක් වරක් ලැබෙන චරිතයක්.

● සිංහබාහු සිනමා නිර්මාණය ගැන කතා කළොත්?

සිංහබාහු සිනමා නිර්මාණයේ රූගත කිරීම් කරල ඉවරයි. විශාල ප්‍රේක්‍ෂක ආකර්ෂණයක් එක්ක දැනට ඕස්ට්‍රේලියාවේ තිරගත වෙනව. ලංකාවේ තිරගත වන තුරු ආසාවෙන් බලාගෙන ඉන්නව.

● මේ චිත්‍රපටයේ ගීත බොහොම ජනප්‍රිය වුණා?

මේ ගීත රිලීස් කරන වෙලාවෙ මම හිටියෙ ඔස්ටේ්‍රලියාවේ. මේ නිසා ඒ අවස්ථාවට සහභාගි වෙන්න ලැබුණෙ නැහැ. නමුත් මට දැනගන්න ලැබුණ මේ ගීත බොහොම ජනප්‍රිය වුණා කියල.

● අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වුණා නේද?

ඔව්” සමීර නාඔටුන්නගෙ ‘සිහින නෙළුම් මල්. තමයි ඒ චිත්‍රපටය. සිංහබාහු චිත්‍රපටයට වඩා හාත්පසින්ම වෙනස් නිර්මාණයක්. ඔහු තරුණ වෙනස් විදියකට හිතන අධ්‍යක්‍ෂවරයෙක්. සිහින නෙළුම් මල් තිර රචනයත් ඔහුගේමයි. හරිම සංවේදී චිත්‍රපටයක්.

● දුශේනිගෙ වැඩි කැමැත්ත ටෙලි නාට්‍යයට ද සිනමාවට ද?

එහෙම එකක් කියන්න බැහැ. මට හිතෙන විදිහට පුළුල් තිරයට වඩා පුංචි තිරයේදී අපිට ලැබෙන ප්‍රේක්‍ෂක ආදරය ගොඩක් වැඩියි. නමුත් ඕනෑර රංගන ශිල්පියකුගෙ හීනය වෙන්නෙ පුළුල් තිරය.

● දුෂේනිව ජනප්‍රිය නිළිය කරන්න අදහසක් පිංකිට නැද්ද?

ඒ තීරණය තියෙන්නෙ මගේ ආදරණීය ප්‍රේක්‍ෂක ජනතාව අතේ. තව කාලයක් තියෙන නිසා අපි බලමු ඉදිරියේදි.

ඔබට ජාත්‍යන්තර අත්දැකීම් ලබන්නත් අවස්ථාවක් ලැබුණා?

ඉන්දියාවේ මුම්බායි නුවර අවුරුද්දක් පමණ ඉන්න අවස්ථාව ලැබුණා. නමුත් කොරෝනා වෛරස් එකත් එක්ක නැවතත් ලංකාවට එන්න සිදු වුණා. වැඩිය කතා නොකර බලමු මොකද වෙන්නෙ කියල.

නිවේදනයට ආරාධනා ලැබෙනවද?

ආරාධනා ලැබිල තියෙනව. නමුත් ක්‍ෂේත්‍රයට පැමිණි දා පටන්ම මම හිතපු දෙයක් තමයි කවදාවත් මොනම හේතුවක් නිසාවත් නිවේදනයට යොමු වෙන්නෙ නැහැ කියන දේ.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment