මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 10ක් ඉන්දියාවට පිටත්ව යති

134

 කුෂාන් සුබසිංහ
 
 ඉන්දියාවේ පන්ජාබ් ප‍්‍රාන්තයේ හෙට (25දා) ඇරඹෙන අන්තර් පළාත් මලල කී‍්‍රඩා තරගාවලිය සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 10 දෙනකුගෙන් යුත් මලල කී‍්‍රඩා කණ්ඩායමක් ඊයේ (23 දා) දිවයිනෙන් පිටත්ව ගියේය.
 
 ටොකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබීමේ ආසන්නයේම සිටින කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 5 දෙනකු සහ මීටර් 100X4 සහාය දිවීමේ කාන්තා කණ්ඩායමේ කී‍්‍රඩිකාවන් 5 දෙනෙක් එම කණ්ඩායම සඳහා ඇතුළත් වෙති.
 
 කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 16 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දීය තරගාවලියට නිර්දේශව සිටිය ද ඉන්දියාවේ දැනට පවතින කොවිඞ් අවදානම සැලකිල්ලට ගෙන මලල කී‍්‍රඩා කණ්ඩායම සීමා කිරීමට කටයුතු යොදා තිබිණි.
 
 මලල කී‍්‍රඩා සංගමයේ සභාපති මේජර් ජෙනරල් පාලිත ප‍්‍රනාන්දු මහතා මීට පෙර ‘දිවයින’ ට ප‍්‍රකාශ කර සිටියේ ඔලිම්පික් පරිසාදන මට්ටම ආසන්නයේම සිටින කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 5 දෙනා හෝ පමණක් ඉන්දියාවේ තරගාවලියට සහභාගි කරවීම සැලසුම් කර ඇති බවයි.
 
 ඒ අනුව කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 16 දෙනකු වෙනුවට, පසුව කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 5 දෙනකු පමණක් සහභාගි වීමට අපේක්ෂා කළ ඉන්දීය තරගාවලියට තවත් කී‍්‍රඩිකාවන් 5 දෙනකු ඇතුළත් කළ බව පාලිත ප‍්‍රනාන්දු මහතා කීවේය.
 
 ඔලිම්පික් පරිසාදන මට්ටම ආසන්නයේ සිටින කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 5 දෙනා ලෙස ඉන්දීය තරගාවලිය සඳහා නිලානි රත්නායක (මීටර් 3000 බාධක කාන්තා*, නදීෂා රාමනායක (මීටර් 400 කාන්තා*, නිමාලි ලියනආරච්චි (මීටර් 800 කාන්තා*, සුමේධ රණසිංහ (හෙල්ල විසි කිරීම* සහ කාලිංග කුමාරගේ (මීටර් 400 පිරිමි* සහභාගි වී සිටිති.
 
 මීටර් 100X4 සහාය දිවීමේ කණ්ඩායම නියෝජනය කරමින් අමාෂා ද සිල්වා, ෂෙලින්ඩා ජැම්සන්, මේධානි ජයමාන්න, ෂාෆියා යැමික් සහ ලක්ෂිකා සුගන්ධි යන කී‍්‍රඩිකාවෝ තරගාවලියට සුදුසුකම් ලැබූහ.
 
 ඔලිම්පික් තරගාවලියට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තෝරා බැලෙන අවසාන දිනය ලබන 29 වැනිදාට යෙදී ඇති බැවින් ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මෙම තරගාවලියේදී දක්වන දස්කම් ඔවුන්ට සිය පරිසාධන මට්ටම ඉහළ දමා ගැනීමට රුකුලක් වේ.
 
 තරගාවලියේ නිලධාරීන් ලෙස නිමල් රත්නායකගේ පෞද්ගලික පුහුණුකරු සුජිත් අබේසේකර සහ කාලිංග කුමාරගේ පෞද්ගලික පුහුණුකරු විමුක්ති සොයිසාත් සහභාගි වෙති. ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා කණ්ඩායමට මෙම තරගාවලිය සඳහා නව ඇගලූමකින් තරග බිමට පිවිසීමට නියමිත අතර ‘සිලෝන් ස්පොර්ට්ස්’ අනුබද්ධ ‘බිලීව්’ ඒ සඳහා අනුග‍්‍රහය දක්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment