මහා සම්ප්‍රදාය පවතින්නේ දහම් පාසල් නාට්‍ය තුළයි – ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි

178

රට තුළ අවුල් වියවුල් පැවැති වකවානුවලදී රාජ්‍ය නාට්‍ය උළෙල පවා පැවැත්වීමට නොහැකිවී ඇති පසුබිමක කොළඹ තරුණ බෞද්ධ සංගමය අඛණ්ඩව වසර 41 ක් සමස්ත ලංකා බෞද්ධ කෙටි නාට්‍ය තරගාවලිය පැවැත්වීම පැසසිය යුතු යැයි ප්‍රවීණ සිනමාවේදී කලා කීර්ති ජයන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.

හෙතෙම මේ බව පැවසුවේ කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් 41 වැනි වරටත් සංවිධානය කළ සමස්ත ලංකා බෞද්ධ කෙටි නාට්‍ය තරගාවලියේ අවසාන මහා තරගය සහ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වෙමිනි.

මහා සම්ප්‍රදාය පවතින්නේ දහම් පාසල් නාට්‍ය තුළයි - ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි

බොරැල්ල තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී ඉකුත් 11 වැනිදා සවස එම උළෙල පැවැත්වුණි. සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර, නාට්‍ය අංශ භාර ලේකම් දයා වීරසේකර, උප සභාපති සුනිල් එස්. සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උළෙල ආරම්භ විය.

මෙහිදී හොඳම කෙටි නාට්‍ය ලෙස මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය ඉදිරිපත් කළ ‘ස්වර්ණ මයුර’ නාට්‍ය සම්මාන ලැබීය.

දෙවැනි ස්ථානය ඇඹිලිපිටියේ ජනාධිපති විද්‍යාලය ඉදිරිපත් කළ ‘සිත් මංසල’ නාට්‍යයද තෙවැනි ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය ඉදිරිපත් කළ ‘මාතෘ’ නාට්‍යයද දිනා ගන්නා ලදී.

හොඳම නළුවා ලෙස ස්වර්ණ මයුර නාට්‍යයේ බඹදත් රජු ලෙස රඟපෑ සදීප කෞෂාන් විජේරත්නද හොඳම නිළිය ලෙස කොළඹ මියුසියස් විද්‍යාලය ඉදිරිපත් කළ ‘මෙත්’ නාට්‍යයේ බිසව සහ චිංචිමානවිකාව ලෙස රඟපෑ වෙතාරා අලහකෝන්ද තේරී පත්වූහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත චන්ද්‍රසිරි මහතා මෙසේද කීවේය.

අප රටේ පැරණිම සහ පළමු නාට්‍ය ගී කාව්‍ය ලෙස සියබස්ලකර සඳහන් වෙනවා. ඊට අමතරව සසදාවත, කව් සිළුමිණ ආදී කාව්‍ය සංග්‍රහ සඳහන් කර තිබෙනවා.

අපගේ නාට්‍ය කලාවේ මහා සම්ප්‍රදායික උරුමය දැකිය හැක්කේ දහම් පාසල් නාට්‍ය තුළිනි. නමුත් සමාජය තුළ ඇත්තේ වෙනස් සම්ප්‍රදායක, නූතන අතිනවීන තාක්ෂණය භාවිතා කර ගෙන නිෂ්පාදනය කළ වේදිකා නාට්‍යයන්ය. මෙම පරස්පරය විසඳා ගැනීමට ඉදිරි නාට්‍ය පරපුර පියවර ගත යුතුයි.
උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment