මාරක රිය අනතුර පාරේ බස් රථ පහකට ධාවන බලපත්‍රය අහිමි කරයි

122

පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ප්‍රදේශයේදී මීට මාසයකට පමණ ඉහතදී මගීන් පිරිසක් රැගත් බස් රථයක් කොටලීය පාලමෙන් පහළට පෙරලී යෑමෙන් පසු සිදුවූ මාරක රිය අනතුරෙන් පසුව එම මාර්ගයේ ධාවනය වූ මාර්ග බලපත්‍ර සහිත පෞද්ගලික බස් රථ පහකට මගී ප්‍රවාහනය සඳහා බස් රථ ධාවනය කරවීම උතුරුමැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් අත්හිටුවා ඇතැයි එම පෞද්ගලික බස් රථ හිමියෝ කියා සිටිති.

දැනට මාසයකට අධික කාලයක් මෙලෙස බස් රථ ධාවනය නවතා තිබීම නිසා තම දෛනික ආදායම් මාර්ග ඇනහිට තිබෙන බවත් බස් රථ මිලදී ගැනීම සඳහා මූල්‍ය සමාගම්වලින් ලබාගත් ණය සහ ලීසිං පහසුකම් වෙනුවෙන් අදාළ වාරික මුදල් ගෙවා ගැනීමට පවා නොහැකිව ඉතාමත් අසීරුතාවකට පත්ව සිටින බවද ඔවුහු පෙන්වා දෙති.

එම පෞද්ගලික බස් රථ හිමියන් පොලොන්නරුව කදුරුවෙලදී පෙරේදා (12) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියහ.

මෙයට මාසයකට පමණ ඉහතදී පොලොන්නරුව කදුරුවෙල සිට කල්මුනේ දක්වා ධාවනය කරන ලද පෞද්ගලික බස් රථයක් මනම්පිටිය කොටලීය පාලමෙන් පහළට පෙරලී මිනිස් ජීවිත 11ක් අහිමිවූ සිද්ධිය සම්බන්‍ධයෙන් සිදුකළ විමර්ශනවලදී එම අනතුරට ලක්වූ බස් රථයට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් නිකුත් කරනු ලබන ධාවන බලපත්‍රයක් නොමැති බව අනාවරණයවී තිබුණි.

මෙම අනතුර සම්බන්‍ධයෙන් සොයා බැලූ උතුරු මැද පළාත් ආණ්ඩුකාරතුමන් අන්තර් පළාත් ධාවනයට යොදවා ඇති බස් රථ සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් නිකුත් කරනු ලබන ධාවන බලපත්‍ර නොමැතිව ධාවනය වන්නේ නම් එම සියලු බස් රථ ධාවනය අත්හිටුවන ලෙසට උපදෙස් ලැබී ඇතැයිද ඒ අනුව මෙම බස් රථ සඳහාද එම තහනම ක්‍රියාත්මකවී ඇති නමුත් තමන්ගේ බස් රථ සඳහා අදාළ ධාවන බලපත්‍ර තිබෙන බවද ඔවුහු කියා සිටියහ.

මෙම කාරණය සම්බන්‍ධයෙන් අදාළ වගකිවයුතු අංශවල අවධානය යොමුකර තම බස් රථ ධාවනයට පනවා තිබෙන තහනම ඉවත්කර දෙන ලෙස එම බස් රථ හිමියන් ඉල්ලා සිටිති.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment