මාලබේ ට්‍රැෆික් ඕඅයිසීට වෙඩි තැබීමට තැත් කළ සැරයන් අතුරුදන්

160

වැඩ තහනම්: රාජකාරියට ආපසු උසාවියට වාර්තාවක්

මාලබේ පොලිස් ස්ථානය තුළදී රථ වාහන විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට (එස්.අයි) රිවෝල්වරයකින් වෙඩි තැබීමට තැත් කළ බව කියන සිද්ධියකට අදාළව පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනමට ලක් කළැයි පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

එම සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්වරයා මේ වනවිට මාලබේ පොලිස් ස්ථානයෙන් අතුරුදන් වී ඇතැයි ද හෙතෙම කීය.

සැකකාර පොලිස් සැරයන්වරයා සහ රථ වාහන විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා ඉකුත් 15 දා පෞද්ගලික සිද්ධියක් මුල්කරගෙන පොලිස් ස්ථානය තුළ බහින්බස් වී තිබේ. එම අවස්ථාවේ සැරයන්වරයා අත තිබූ රිවෝල්වරයෙන් වෙඩි තැබීමට උත්සහ කර ඇති අතර එහි සිටි සෙසු නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. නමුත් ඔහු පොලිස් අත්අඩංගුවෙන් මිදී පළාගොස් ඇතැයි පොලිසිය කියයි.

පළාගිය සැරයන්වරයා ඊයේ වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි. ඔහු පදිංචි බොක්කාවල නිවස ද පරීක්‍ෂාවට ලක් කළ නමුත් එහිද නොසිටි බව පොලිසිය කියයි.

මාලබේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රසාද් රත්නායක මහතා නිවාඩු ගොස් සිටි අවස්ථාවක මෙම සිද්ධිය වී ඇති අතර රාජකාරියට වාර්තා කිරීමෙන් පසු සැකකාර පොලිස් සැරයන්වරයා ගැන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමට පියවර ගෙන ඇතැයි එම නිලධාරියා කීය.

මේ පිළිබඳව නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂඨ පොලිස් අධිකාරි ජයමහ මහතාගේ අධීක්‍ෂණය යටතේ වැඩිදුර පරීක්‍ෂණ සිදු කෙරේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඇන්ටන් ප්‍රනාන්දු, යූ. කේ අබේරත්න සහ ප්‍රියන්ත මද්දුමආරච්චි-මුල්ලේරියාව

advertistmentadvertistment
advertistmentadvertistment