මිරිහානේ විරෝධයට 53 ක් අල්ලති

373

නුගේගොඩ මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට ඇතිවූ කලබලකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක ඇතුළු පුද්ගලයන් 53 දෙනාගෙන් ඊයේ (01දා) නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට 27 දෙනෙකු ඉදිරිපත් කර තිබිණි. ඊයේ රාති‍්‍ර පුවත්පත් මුද්‍රණයට යන අවස්ථාව වනතෙක් ඔවුන්ට ඇප දීම සම්බන්ධයෙන් මහෙස්ත‍්‍රාත්වරයා විසින් තීරණයක් දී නොතිබිණි.

පොදු දේපොළ විනාශ කිරීම, පොලිස් නිලධාරීන්ට පහරදීම, රාජකාරියට බාධා කිරීම, අයුතු ජන රාශිය ඇතුළු චෝදනාවන් ගණනාවක් මෙම පිරිසට එරෙහිව එල්ල කර තිබෙන බව පොලිසිය පවසයි.

පෙරේදා 31 වැනිදා රාත‍්‍රි කාලයේ සිට ඊයේ අලූයම වනතෙක් පැවැති මෙම සිද්ධියෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු පොලිස් නිලධාරීහු විසිහතර දෙනෙක් තුවාල ලැබූහ.

මේ අතර පුද්ගලයන් දෙදෙනකු වෙඩි ප‍්‍රහාරයට ලක්වූහ. තවත් පනස්හය දෙනෙක් තුවාල ලැබූහ. මේ පනස්හයදෙනා මේ වනවිට කළුබෝවිල සහ ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටිති.

මිරිහානේ විරෝධයට 53 ක් අල්ලති

තුවාලකරුවන් අතර මාධ්‍යවේදීන් 6 දෙනකු ද සිටිති.

කලහකාරි පිරිස් විසින් යුද හමුදා බස් රථයක් සහ පොලිස් බස් රථයක් ගිිනි තබා විනාශ කර තිබූ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ බස් රථයකට ද පහර දී විනාශ කර තිබිණි.

පොලිස් දෙපාර්තමේන්තුවට අයත් ත‍්‍රිරෝද රථයක්, ජීප් රථයක් යතුරු පැදි දෙකක් ද කලහකාරී පිිරිස් විසින් විනාශකර දමා ඇති බව පොලිසිය පවසයි.

මෙම ප‍්‍රහාර එල්ල කර රජයේ දේපළවලට හානි කළ පුද්ගලයන් සෙවීමට වීඩියෝ දර්ශන පරීක්‍ෂා කරගෙන යන බව ද විමර්ශන නිලධාරීහු කියා සිටියහ. නුගේගොඩ ජුබිලි කණුව ප‍්‍රදේශයේදී පෙරේදා සවස ආරම්භ කළ නිහඬ උද්ඝෝෂණය එදින රාත‍්‍රිය වනවිට පෙළපාලියක් දක්වා වර්ධනය වී තිබිණි.

උද්ඝෝෂකයන් පෙළපාලියකින් පැමිණ මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසට කඩා වැදීමට උත්සාහ කිරීමේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

මෙම උද්ඝෝෂණයට පන්දහසකට අධික පිරිසක් එක්ව සිටි අතතර ඔවුහු එවිට විවිධ සටන්පාඨ කියමින් ජනාධිපතිවරයාට සිය ධුරයෙන් ඉවත්වන ලෙස බල කරමින් ඉදිරියට ගමන් කළහ.

එහිදී ඇතිව තිබූ තත්ත්වය පාලනය කිරීමට යුද හමුදා පොලිසිය, විශේෂ කාර්ය බළකාය, කැරලි මර්දන ඒකකය යෙදවීමට කටයුතු කරන ලදී.

උද්ඝෝෂකයන් මාර්ග බාධක බිඳගෙන ඉදිරියට යෑමට උත්සාහ කිරීමේදී පොලිසිය ජල ප‍්‍රහාර සහ කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කිරීමට කටයුතු කළහ.

එහිදී උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර ගැටුම් හටගත් අතර උද්ඝෝෂකයෝ පොලිසියට ගල් මුල් ප‍්‍රහාර එල්ල කළහ.

මෙම සිද්ධියේදී පුද්ගලයන් අනූදෙදෙනකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් අතරේ සිවිල් පුද්ගලයන් පනස් දෙදෙනකු ද වේ. ඒ අතර මාධ්‍යවේදීන් හයදෙනකු වන බව පොලිසිය කියයි. ඊට අමතරව පොලිස් නිලධාරීන් විසිහතර දෙනකු ද, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දහඅට දෙනකු ද තුවාල ලබා තිබේ. ඔවුන් සියලූ දෙනා මේ වනවිට කොළඹ ජාතික, කළුබෝවිල හා ශී‍්‍ර ජයවර්ධනපුර යන රෝහල්වල ප‍්‍රතිකාර ලබති.

ඊයේ අලූයම් කාලය වනතුරු මෙම කලබලකාරී තත්ත්වය පැවැතිණි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණ යටතේ ඇතිවී තිබූ තත්ත්වය පාලනය කිරීමට කටයුතු කිරීමට පොලිසිය පියවර ගත්හ.

මේ අතර ඇතිවූ කලහකාරී තත්ත්වයක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නුගේගොඩ කොට්ඨාස අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් පේ‍්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර, කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා මහත්වරුන් යොදවා ඇත.

මේ අතර මිරිහානේ පැවති විරෝධතාවේදී රුපියල් මිලියන 39ක පොදු දේපළ හානියක් සිදුව ඇතැයි ඇස්තමේන්තුගත කර ඇත.

එසේම මෙම කලහකාරී සිද්ධියේ විමර්ශන කටයුතු විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් වෙත භාරදී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ‘දිවයින’ට පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment