මේ මගේ කතාව – අසිහියෙන් ලියූ සටහන්

137

අලුත් රස්සාව!

පසුගිය සතියේ මං අලුත් රස්සාවකට ගියා. දැන් ආයෙත් මං රැකියා නියුක්තිකයෙක්. මොකක්ද රස්සාව? කොහේද වැඩ කරන්නෙ? හොඳ තැනක්ද?

මගේ රස්සාව ලිවීම. ලිවීම මං කොහොමටත් කරන දෙයක්. ලියන එක මට බත් කනවා වගේ. කොච්චර ජොලි රස්සාවක්ද! ඒත් අලුත් රස්සාවෙ මං ලියන්නෙ මට ඕන දේ නෙවෙයි. මං ලියන්නෙ වෙන කවුරුවත් කියන දේ. ඔව්, මං මගේ බොස්ට ඕන දේ ලියනවා. ඉංග්‍රීසියෙන් කිව්වොත් මගේ ජොබ් එක කොපි රයිටින්. මං කොපි රයිටර් කෙනෙක්. උදේ හිට හැන්දෑ වෙනකන්ම මං කරන්නෙ පිටපත් ලියන එක. කියන දේ ලියන එක. ඒ අතින් මං ටයිපිස්ට් කෙනකුට වැඩි වෙනසක් නෑ. එකම දේ මගේ ළඟ ටයිප් රයිටරයක් නෑ. මං ඔක්කොම කරන්නෙ අතින්. පෑනෙන්. කියන දේ අතින් ලියද්දි සමහර විට අපේ ලේඛක බොස්, ඔව්, මගේ බොස් ලේඛකයෙක්. පොත් ගොඩක් ලියලා තියෙනවා. ඔව්. එහෙම ලියද්දි මගේ බොස් වටපිටාවේ ඉන්න අයට කෑකෝගහන අවස්ථා තියෙනවා. එතකොට ඒවාත් මගේ අතින් ලියවෙනවා. ඒ වුණාට මොකෝ මං ලියන පිටපත එතුමා එඩිට් කරද්දි ඒ කෑකෝගහන කෑලි හුඟක් වෙලාවට තියෙන්න අරිනවා. “මට විශ්වාසයි මේ පොත එළියට එද්දි මගේ විචාරකයො ඕවා අපූරුවට විස්තර කරාවි. සමහර විට පොත පශ්චාත් නූතනවාදී කියල කියන්නත් බැරි නෑ.” එහෙම තමයි බොස් ඒ ගැන කියන්නෙ.

මගේ බොස් ලේඛකයෙක් කිව්වාට එතුමාට තව ජොබ් එකකුත් තියෙනවා. එතුමා වෘත්තියෙන් නීතිඥයෙක්. එතුමා උදේට උසාවියේ වැඩ කරනවා, හැන්දෑවට ලේඛන වෘත්තියේ යෙදෙනවා. ඇත්ත වශයෙන් අපියි ලේඛන වෘත්තියේ යෙදෙන්නෙ. එතුමා කරන්නෙ කථා කිරීමේ වෘත්තියේ යෙදෙන එක. උසාවියෙත් කරන්නෙ කථා කරන එකනෙ. එතන සල්ලිවලට කථා කරනවා. මෙතන සල්ලි දෙන්න කථා කරනවා. දැන් මෙතනදි කෙනකුට විචිකිච්චාවක් හිතෙයි ලේඛකයෙක් නම් තමන් ලියනවා හැරෙන්න වෙන කවුරුවත් ලවා පොත් ලියවනවාද කියල. ඒ කතාව හරි. ලේඛනය කියන්නෙ ආත්ම ප්‍රකාශනයක්. ආත්ම ප්‍රකාශනය වෙන කවුරුවත් ලවා කරන්න බෑ. ඒත් ඔය කියන්නෙ පොතේ හැටියටනෙ. විසිඑක් වැනි සියවසේ අන්ධකාර යුගයේ ඕනම පොතේ කතාවක් ප්‍රායෝගික භාවිතයේදි කණපිට හැරෙන්න පුළුවන්. අනිත් එක, ජී. බී. සේනානායක මහත්තයා මතකනෙ. එතුමාත් තමන්ගෙ පොත් අනුන් ලවා ලියවාගෙන තියෙනවානෙ. එහෙම කරලා තියෙන්නෙ එතුමාගේ ඇස් අන්ධ වුණාට පස්සෙ ලියන්න වෙන ක්‍රමයක් නොතිබුණු හින්දාලු. නමුත් අන්ධ වුණා හෝ නොවුණා හෝ තමන්ගේ දේ අනුන් ලවා ලියවීම බලු වැඩක්.

බලු වැඩක්! ඇයි එහෙම කියන්නෙ? බලු වැඩක්ද වටිනා කියන පොතක් පතක් පාඨක ප්‍රජාවට පිරිනමන එක? මං බලු වැඩේ කිව්වෙ තමුන්නාන්සෙ කියන අර්ථයෙන් නෙවෙයි මහත්තයෝ. ඇත්ත තිත්තයි කියල අහලා තියෙනවානෙ. මං වැඩ කරන්නෙ ඇත්ත වශයෙන් බලු රැලක් එක්ක. ඒ කිව්වෙ මං වැඩ කරන බොසා ළඟ ඉන්න ඔක්කොම උන් බල්ලො. බොසාගේ ලේකම් තැන, ගණකාධිකාරී තැන, ඩ්‍රැයිවර් යන මේ ඔක්කොමල්ලා බල්ලො. බැල්ලියෙකුත් ඉන්නවා. ඒකි කරන්නෙ බොසාගේ ෆයිල් – අත්පිටපත් එහා මෙහා ගෙනියන එක. තමුසෙගේ මොළේ කොළොප්පම්ද කියල දැන් ඔහේලා අහයි. ඒත් මං කියන්නෙ ඇත්ත. මං මගේ ඇස් දෙකට දැක්කා අපේ පරිපාලන ලේකම්ට හොම්බක් තියෙනවා. ඒ වගේම ගණකාධිකාරීගේ පස්ස පැත්තෙ වල්ගයක් තියෙනවා. ඩ්‍රැයිවර් තැන ගහක් – ගලක් දැක්කොත් අණ්ඩ උස්සලා මුත්‍රා කරනවා. බැල්ලි බොස් වටේ කැරකෙනවා. කාරණය බල්ලො – බැල්ලියො එක්ක වැඩ කරන එක නෙවෙයි, කරන්න වෙලා තියෙන වැඩ බලු වැඩ වීම. දැන් පෙරේදා අපේ බොස් කිව්වා “බුක් ෆෙයාර් එකට කලින් මට නවකතා දහයක් ලියන්න ඕන. කරන්න පුළුවන් නේද?” කියල. මාව බිරන්තට්ටු වුණා. මං කිව්වා “අපොයි! ඒක නම් කරන්න බෑ” කියල. මොකද එකක්, ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට තව සති දෙකක්වත් නෑ. අනෙක නවකතා කියන ඒවා එහෙම ආවාට ගියාට ඩෙඩ්ලයින් තියලා ලියන්න පුළුවන්ද! ඒත් මං මගේ උත්තරේ දුන්නා විතරයි මෙන්න බොසා වටේ හිටපු මේ සෙට් එක මට ගර්ර්,, ගර්ර්ර්,, ගර්ර්ර්ර්,,. ගාලා ගොරවන්න ගත්තා. අන්තිමේ බොසුත් කිව්වා “මං තමුන්නාන්සේව මෙතන වැඩට ගත්තේ ජොබ් එකකට. ඒ ජොබ් එක හරියට කරනවා!” කියල. ඒ එක්කම බල්ලො ටික උඩුබුරලන්න ගත්තා. ඇත්ත වශයෙන් මගේ ඉන්දියන් සාගරේ මුතුඇටේට මෙහෙම කලක් උදා වෙලා නොතිබුණා නම් මං උපන්තේකට මේ විධියට බල්ලො ළඟ බාල්දු වෙන්නෙ නෑ. එක සැණින් ජොබ් එක දාලා ගෙදර යනවා. ඒත් දැන් තියෙන තත්ත්වෙ හැටියට මං ඕන බල්ලෙකුට නැට්ට වනනවා. ඔව්, මටත් දැන් නැට්ටක් තියෙනවා. මාත් බල්ලෙක් වෙලා කියල මට දැනෙන්නෙ.

ඉතිං මං දැන් යකා බැඳ ගත්තා වගේ වැඩ කරනවා. වැඩ කරලා කොහොමින් කොහොම හරි නවකතා තුනක් මේ වෙද්දි ඉවර කරලා තියෙනවා. දවස් තුනට නවකතා තුනක්! පව් වැඩක් කළා කියල නම් කියන්න එපා. එහෙම හිතන එකත් පව්. අපි කරලා තියෙන්නෙ සාහිත්‍යයට සුවිශාල සේවයක්. මොකද එක නවකතාවක් ලැබෙන්න තිබුණු සිංහල සාහිත්‍යයට දැන් නවකතා දහයක් ලැබෙනවා! කජුඇටද! කොස් ඇටද! ඇත්තටම මේ වෙද්දි සාහිත්‍යය පිළිබඳ මගේ ඉස්සර තිබුණු ආකල්ප හුඟාක් දුරට වෙනස් වෙලා. ඉස්සර අපි කිව්වා සම්මාන උත්සව, පොත් ප්‍රදර්ශන ඉලක්ක කරගෙන පොත් ලියන එක හොඳ නෑ කියල. ඒ වගේම එක ලේඛකයා අවුරුද්දකට පොත් දහය – පහළොව පළ කරන එක නිර්මාණ සාහිත්‍යයේ පිරිහීමක් කියල. එසේම එක ලේඛකයකුට එකවර නවකතා දෙක – තුනක්, කවි පොත් දෙක – තුනක් පළ කරන්න බෑ කියල. ඒ විතරක් නෙවෙයි, පොත් දොරට වැඩුම්, උපහාර උත්සව, ඒ උත්සවවල නැටුම් – ගැයුම් – වැයුම් තේරුමක් නැති දේ කියල. ඒත් දැන් මං ඒ ඔක්කොම සාහිත්‍යයේ අභිවෘද්ධියක් කියල හිතන්නෙ. ඒ නිසාම දැන් අපේ ලේඛක බොස් නෙළුම් පොකුණේ මහා පොත් දොරට වැඩුමක් පවත්වන්න සූදානම් වෙනවා. පොත් දහයක් එකවර දොරට වඩිනවා. මොනවාද පොත්? ඒ, මේ අපි තවම ලියලා ඉවරවත් නැති පොත්. ඉතින් මාත් කාර් බාර්වලින් යන අපේ බලු පන්තියත් දැන් ඒ දොරට වැඩුමට අවශ්‍ය සියලු දේ ලකලෑස්ති කරනවා.

ඒත් මොන දේ කළත් මට මහා දුකක් දැනෙන දෙයක් තියෙනවා. ඒ තමයි දැන් මං මෙතන හිටපු ටිකට මගේ ඇස් අන්ධ වෙලා කියල මට දැනෙනවා. මගේ ඇස් පෙනීම අඩු වෙලා කියල මුලින්ම දැනුණෙ පෙරේදා. ඒ, අපේ ගණකාධිකාරී තැන මට බොස් ගැන ලිපියක් පත්තරේට ලියන්න පවරපු වෙලාවේ. අකවුන්ටන් මට බොස් ගැන කලින් ලියවුණු පත්තර ලිපි වගයක් ගෙනත් දීලා කිව්වා “මේවා කියවලා ලියනවා” කියල. ඒක අණක්. අකවුන්ටන් කෙනෙකුට අණක් දෙන්න පුළුවන්ද තමුන්නාන්සේ වගේ කෙනෙකුට! එයාගේ රාජකාරිය ගණන් හිලව් හදන එකනෙ. ඔව්, එහෙම තමයි පොතේ තියෙන්නෙ. ඒත් ප්‍රායෝගිකත්වය පොතට වෙනස්. විශේෂයෙන් සාහිත්‍යය, කලාව, සංස්කෘතිය එක්ක වැඩ කරන්න ගන්න අය මේ වගේ අය තමයි තමන්ගේ සමීපයෙන් තියාගන්නෙ. මට ඒවා ප්‍රශ්න නෙවෙයි. මට ප්‍රශ්නය මං අන්ධ වෙයිද කියන බය. මං ගණකාධිකාරී තැන ගෙනත් දුන් ලිපි ටික කියවන්න ගනිද්දි ඒ අකුරු ටික ටික බොඳ වෙලා පේන්න වුණා. ඊයේ වෙද්දි ඒ අකුරු තවත් බොඳ වුණා. අද උදේ පත්තර ලිපි බලද්දි මට අකුරු කියවන්නම බැරි වුණා. මට මේක කම්පනයක්. මොකද මගෙ පෙනීම නතර වුණොත් මින් මනත මට පොතක් පතක් කියවන්න ලැබෙන්නෙ නෑ.

“ආ…. කොහොමද අර නිව්ස්පේපර් ආටිකල් එක හරිද?” මාව දැකපු ගමන් අද දවල් අපේ බොස් ඇහුවා මගෙන්. “මට ඇස් කණ්ණාඩි දෙකක් ගන්න වෙලා සර්. අකුරු පේනවා හොරයි,” මං උත්තර දුන්නා. එතකොට බොස් කිව්වෙ අමුතු කතාවක්: “අයිසේ, මාත් එක්ක සම්මුඛ සාකච්ඡාවක් කරලා ලියනවා ඔය ලිපිය.” ඒ එක්කම එතුමා මෙහෙමත් කිව්වා: “අද කාලෙ ඇස් පේන්නම ඕන නෑ පොත් කියවන්න. අද තව මාධ්‍ය ඕන තරම් තියෙනවා. දැන් බලනවා මගේ මේ ෆෝන් එක. මේකෙන් මට පුළුවන් මං හුඟක් ආස ක්‍රයිම් නවල් එකක් ඕඩියෝ බුක් එකක් විධියට කියවන්න. මොන පොතද දැන් මෙහෙම කියවන්න බැරි? ඔන්න බලනවා හෙට අනිද්දා වෙද්දි මුද්‍රිත පොත නැත්තටම නැති වෙනවා. එතකොට අපිත් ඒ පැත්තට යනවා. එතකොට මට තමුසෙලා ඕන වෙන්නෙත් නෑ කියවන දේවල් ලියවාගන්න.”

අපේ ලේඛකතුමාගේ කතාව ඇහුවාම මටත් තේරුම් ගියා අපි කඩදහි එක්ක ඔට්ටු වීමේ තේරුමක් නෑ කියල. ඒ වගේම හෙට අනිද්දා වෙද්දි බොස් කිව්වා වගේම පොත කියන මාධ්‍යයත් ඉවර වෙයි කියල. ඒත් වැඩ ඇරිලා ඉවර වෙලා හැන්දෑවේ ගෙදර එද්දි මට කල්පනා වුණේ ලිවීමයි හඬනඟා කියවීමයි එකක්ද කියල. ලිවීමත් කියවීමත් නිහඬ මාධ්‍යයක් බවත් ඕඩියෝ බුක් හඬ මාධ්‍යයක් බවත් හඬ මාධ්‍යයක් ඔස්සේ ආත්ම ප්‍රකාශනයක් කළ නොහැකි බවත් මට හැඟී ගියා. ඒ නිසා අන්ධ වීම මිනිහෙකුට ජීවිතය අහිමි වීමක් කියල මට දැනුණා. ඒ එක්කම වගේ මගේ ඇස් දෙකට කඳුළු ආවා. ඒත් මං කඳුළු හංගගත්තා. කඳුළු එක්ක කරන්න මේකෙ කිසිම දෙයක් නෑ. අපි ඔක්කොම දඬුකඳේ ගැහිලා ඉවරයි. මෙතනින් ගැලවිල්ලක් නෑ. අන්තිමේ මට හිතුණා දෙවියො මට දීලා තියෙන්නෙ හොඳම දේ කියල. හරියටම හරි, මෙහෙම ලෝකයක ජීවත් වෙනවාට වඩා ඇස් අන්ධ වෙලා ඉන්න එක හොඳයි.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment