මේ සති තුන නෙමෙයි  මාස හයක් විතර යනකම් ජනතාවට ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙළක් නැහැ  – නලීන් බණ්ඩාර

169

මේ සති තුන නෙමෙයි මාස හයක් විතර යනකම් මේ ආණ්ඩුවට රටේ ජනතාවට ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙළක් නැහැ යැයි සමගි ජන බලවේග පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

 විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

 රටේ ජනතාව බොහොම දුෂ්කර කාලයක් ගත කරනවා. ඉන්ධන නැති තත්ත්වයට පත්වෙලා. අගමැතිවරයා කියනවා මේ සති තුන බොහොම අමාරුයි කියලා. ඒ වගේම අගමැතිවරයා කියනවා මාස හය හතක් යනකන් 50% යි ඉන්ධන දෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ සති තුන නෙමෙයි මාස හයක් විතර යනකම් මේ ආණ්ඩුවට රටේ ජනතාවට ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙළක් නැහැ. ඒ බව තමයි අගමැතිවරයාගේ ප්‍රකාශය තුළින් පේන්නේ.

 අද අගමැතිවරයා රටේ ප්‍රශ්න පිළිබඳව ජනතාව දැනුවත් කරන මාධ්‍ය ප්‍රකාශකයෙක් බවට පත්වෙලා. බලයට පත් වෙද්දී ගෝලබාලයෝ කිව්වේ පැය 48න් පෝලිම් නැති කරනවා, ඩොලර් ගේනවා, තෙල් දෙනවා. මැජික්කාරයෙක් විදියට තමයි හැඳින්වූයේ. නමුත් අද එසේ ක්‍රියාත්මක කරන්න බැරි වෙලා. ඒ මුකුත් නිසා නෙමෙයි අගමැතිවරයා ඉන්නේ පරණ තැටිය උඩ. ඒක හරියන්නෙ නෑ. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මේ රටේ සාපය ඒක වෙනස් වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිහිල්ලා ඔක්සිජන් දෙන්න එකතු වුණාට ගෝඨාභය රාජපක්ෂ සාපය ලංකාවෙන් තුරන් වෙනකන් රටට සාපය තියෙනවා. ඒ සාපේ ගැන කියපු හරින් ප්‍රනාන්දු මහත්තයා මේ වෙලාවේ සිහිපත් වෙනවා. ඔහු එතන හිටියත් මේ සාපය හරියන්නේ නෑ. රටේ සමස්ත ජනතාව අද දැවෙමින් ඉන්නේ විශාල වෛරයකින් මිනිස්සු සියදිවි හානි කරගන්නවා. අද චූන් පාන් වෙළෙඳ ව්‍යාපාරයේ යෙදෙන වෙළඳ ව්‍යාපාරත් එක්කම ගිනි තියාගෙන. මිනී මරනවා මිනිස්සුන්ගේ වෛරය ක්‍රෝධය 09 වැනිදට වැඩිය එළියට එන්න ඉඩ තියෙනවා. ආණ්ඩුවට විසඳුමක් නෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමන්ගේ බලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියක් හැර වෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා මිසක් රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් හොයන්න බවක් පේන්නේ නෑ. අද හාල් 250 යි -300යි. ඒ ගාණටත් ගන්න නැහැ. පරිප්පු රුපියල් 700 නැගලා. අපිට මතකයි රුපියල් 65ට පරිප්පු දෙන්න කටයුතු කරනවා කියලා මීට අවුරුද්දකට කලින් කියපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේ ම තමයි 700ට ඇවිත් තියෙන්නේ. සීනි රුපියල් 350 යි -400යි. සෑම භාණ්ඩයකම මිල දහ ගුණයකින් වැඩිවෙලා. ගෑස් එක හත් දාහකට ගිහිල්ලා මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ. අද මිනිස්සු නොමැරී ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. මිනිස්සු විශාල කලකිරීමකින් සහ වෛරයකින් ජීවත් වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටයි රනිල් වික්‍රමසිංහ මහත්මයාටයි මේ ප්‍රශ්න විසඳන්න බෑ. මේක අපි මුල ඉඳන්ම කිව්වා. මේ රටට ඩොලර් එන්නේ නෑ, විදේශ රටවල් ආධාර කරන්නේ නෑ, කරත් කරන්නේ රජයට නෙමේ රටේ ජනතාවටයි.

 අද අපිට විශාල ආහාර හිඟයක් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. බලශක්තිය නෑ. හැම පැත්තෙන්ම අපේ ව්‍යාපාර කඩා වැටිලා. අපනයන ආදායම අඩු වෙලා. සංචාරක කර්මාන්තය නැත්තට නැතිවෙලා. මේ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග මේ ආණ්ඩුව ගන්නවා කියලා අපට පේන්නේ නෑ. 21 වන සංශෝධනය අපි දන්න විදිහට අද දිනටත් කැබිනට් මණ්ඩලයට එන්නෙ නෑ. හරින් මනූෂලා රනිල් වික්‍රමසිංහ මහත්මයත් එක්ක එකතු වුණේ නෑ. විසිඑක් වන සංශෝධනය ඉක්මනටම ගේනවා කියලා දැන් කැබිනට් මණ්ඩල දෙක තුනක් මග ඇරියා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යන්නේ වෙනම න්‍යාය පත්‍රයක. ඒගොල්ලො දැන් ධම්මික පෙරේරා මහත්තයත් පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා යන්නේ වෙනත් න්‍යාය පත්‍රයක. ඒ එකකවත් රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙළක් නෑ. රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්නවලට විසඳුම් නෑ. භූමියේ තියෙන ඇත්ත ප්‍රශ්නවලට විසඳුම් නෑ. පෝලිම්වලට, බලශක්ති අර්බුදයට, ආහාර හිඟයට, ජීවන වියදම ඉහළ යෑමට විසඳුමක් නෑ. බලය රැක ගැනීම වෙනුවෙන් දේශපාලන නායකත්වය ඔවුන් ක්‍රියාත්මක කරනවා. ඊළඟ ජනාධිපති සහ පුළුල් පෙරමුණ හදන එක ගැන තමයි ඒගොල්ලොන්ගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්නේ.

advertistmentadvertistment
advertistmentadvertistment