මොනර කුටුම්බය – නවකතාවක් කියවන ගමන් චිත්‍රපටයක් බැලීමක්

311

මොනර කුටුම්බයේ අභව්‍ය ගතියක් දැනෙන්නෙම නැහැ. ඒ හැම සිදුවීමක්ම, චරිතයක්ම අතරේ නිසි අන්තර් සම්බන්ධයක් තිබෙන බව වැටහෙනවා. ඒ නිසා ‘සහේතුක’ සාධාරණ හා නිරවුල් කරුණුවලින් සමස්ත ගැටුමම අන්තර් සම්බන්ධිත වෙනවා.

මොනර කුටුම්බය ඊනියා පවුල් සංස්කෘතිය, ලිංගික සදාචාරය ආරක්ෂා කිරීමට කැස කවන්නේ නැහැ. ඒවාට නිදහසේ ගලා යෑමට ඉඩදී ‘මල නොතලන බඹරෙක්’ වාගේ පාපයේ ආදීනව පෙන්වා දෙනවා.

මෙම නවකතාව කියවන සියලුම තරුණ, වැඩිහිටි කාන්තාවන්ට හා පිරිමින්ට කල්පනා වේවි ‘පනින්න පෙර සිතා බලන්න.’ මෙහෙම කියන්නේ ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව, චිත්‍රපට කලාව සහ නවකතා කලාව තුළ තමන්ටම ආවේනික ශෛලියක් පවත්වා ගෙන ගොස් ලොකු කුඩා අපි හැමෝගේම ආදරය සහ ගෞරවය දිනාගත් ලේඛකයෙක් සහ පුවත්පත් කලාවේදියෙක් වන අනුර හොරේෂස්.

අනුර මේ කියන නවකතාව තමයි ගොඩගේ ප්‍රකාශනයක් ලෙස පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද මොනර කුටුම්බය. එහි කර්තෘවරයා 1993 දී ‘ගිනි අවි සහ ගිනිකෙළි’ නවකතාව තුළින් අපිව අමන්දානන්දයට පත්කළ අනුර හොරේෂස්.

මේක අනුරගේ පොත ගැන විචාරයක් නොවෙයි. මොකද මේ ගැන අවශ්‍ය ප්‍රමාණයටත් වඩා විචාර ලියවී තිබෙනවා අපි දැක්කා. ඒත් මේ නවකතාව කියවීමෙන් ලද සතුට සහ ඒ තුළින් ලද ප්‍රඥාව සහ සමාජ අවබෝධය (දේශපාලනය ද ඇතුළත්ව) නිසා මොනර කුටුම්බය ගැන කෙටි සටහනක් ලියවිය යුතුය යැයි සිතුණා.

අනුර කියන කතාව හරි. මොනර කුටුම්බය හුදු නවකතාවක් ඉක්මවා ගිය දෙයක්. ඒ තුළ ආදරය… අනුරාගය… දේශපාලනය මෙන්ම අනුරට හුරුපුරුදු භීෂණයේ කතාවකුත් තිබෙනවා. ඒ වගේම අපේ පොලිසියේ සහ පාතාලයේ හැසිරීම ගැනත් පුදුම නොවිය යුතු කතාවක් මේ කෘතිය තුළ තිබෙනවා.

මොනර කුටුම්බය නවකතාව මගින් අපේ සමස්ත සමාජයට පෙන්වා දෙන ‘රතු එළිය’ වැදගත් බවයි මගේ අදහස. විශේෂයෙන් එය මෙරට වත්මන් සමාජයට අතිශය වැදගත් පණිවුඩයක් ලබා දෙනවා කියලා මට හිතෙනවා. රෑ වැටුණ වළේ මහ දවාලේ නොවැටී සිටින්න නිසි මඟපෙන්වීමක් මේ නවකතාව හරහා අපට ලබා දෙනවා.

මොනර කුටුම්බය එක හුස්මට කියවා ගෙන යා හැකි දුර්ලභ ඝනයේ නවකතාවක්. ඒක හරියට නවකතාවක් කියවනවාට වඩා චිත්‍රපටයක් බලනවා වාගේ අත්දැකීමක් මට ලබා දුන්නේ. ඒ නිසාම ‘අනුරගේ ගිනිඅවි සහ ගිනිකෙළි’ මනස් චිත්‍රයක් වාගේ මැවුණා. කොහොම වුණත් මේ ද්විත්ව අත්දැකීම වත්මන් පාඨකයන්ට අලුත් අත්දැකීමක් වෙයි කියලා මට හිතෙනවා.

පාතාලය හෝ භීෂණය පදනම් කරගෙන වර්තමානයේ ලියැවෙන බොහෝ නවකතාවල අභ්‍යව්‍ය බව ඉතාම සුලබ තත්ත්වයක්. ඒක පාඨකයාට නීරසක් මෙන්ම කෘතිය ගැන, චරිත ගැන අවිශ්වාසය වර්ධනය කරනවා. ඒ නිසා පිටු කිහිපයක් කියවූ පසු ඒ පොත යළි අතට ගන්න දෙතුන් වරක් හිතන්න වෙනවා. ඒත් මොනර කුටුම්බයේ අභව්‍ය ගතියක් දැනෙන්නෙම නැහැ. ඒ හැම සිදුවීමක්ම, චරිතයක්ම අතරේ නිසි අන්තර් සම්බන්ධයක් තිබෙන බව වැටහෙනවා. ඒ නිසා ‘සහේතුක’ සාධාරණ හා නිරවුල් කරුණුවලින් සමස්ත ගැටුමම අන්තර් සම්බන්ධිත වෙනවා.

මොනර කුටුම්බය ඊනියා පවුල් සංස්කෘතිය, ලිංගික සදාචාරය ආරක්ෂා කිරීමට කැස කවන්නේ නැහැ. ඒවාට නිදහසේ ගලා යෑමට ඉඩදී ‘මල නොතලන බඹරෙක්’ වාගේ පාපයේ ආදීනව පෙන්වා දෙනවා.

අනුර ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙක් නිසා නවකතාවේ භාෂාව ඔහුට සුපුරුදු සරල, සුමට ශෛලියෙන් පවත්වා ගෙන යනවා. ඒ නිසා ම සන්නිවේදන බාධාවලින් තොරව එක හුස්මට නවකතාව කියවා ගෙන යන්න පුළුවන්. මේක වත්මන් නවකතාවල විරල ලක්ෂණයක්.

මම මුලින් සඳහන් කළ ආකාරයට මේ මොනර කුටුම්බය ගැන ග්‍රන්ථ විචාරයක් හෝ විවේචනයක් නොවෙයි. වැඩිහිටියෙක්, පුවත්පත් කලාවේදියෙක්, වත්මන් සමාජ – දේශපාලන කරුණු කාරණා ගැන සංවේදී පුරවැසියෙක් ලෙස කළ කෙටි සටහනක්. ඒ නිසා බොහෝ වාරයක් කර ඇති පරිදි අනුරට සුබ පතනවා. ‘ගිනිඅවි සහ ගිනිකෙළි’ මෙන් මොනර කුටුම්බයත් ඉතා ඉක්මනින් අපේ නෙත් සිත් පැහැර ගන්නා සිනමා සිත්තමක් වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා.

අනුර ඔබට ජය !

මොනර කුටුම්බය - නවකතාවක් කියවන ගමන් චිත්‍රපටයක් බැලීමක්

දයා ලංකාපුර

advertistmentadvertistment
advertistmentadvertistment