යකාගේ කෙළිය

1643

ප‍්‍රශ්න පත්තර අච්චු ගසා ගැනීමටවත් කඩදාසි නොමැති වීම නිසා පාසල් වාර විභාගවලට කවර ඉරණමක් අත්වේද යන ගැටලූව මතුව තිබේ. පොත් ප‍්‍රකාශනයට ද පුවත්පත් අච්චු ගැසීමට ද බාධා ගෙනදිය හැකි කඩදාසි හිඟය අවසන් කළ හැක්කේ ඩොලර්වලින් පමණි. මුද්‍රණ කර්මාන්තය මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනගහනයකගේ කුස පුරවන එක් මාර්ගයකි. රටට අවශ්‍ය කඩදාසි මේ රටේම නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්ත ශාලාවක් මීට අවුරුදු 50 කට පමණ පෙර නැගෙනහිර පළාතේ වාලච්චේනායි ගමේදී පිහිටුවන ලදී. නැගෙනහිර කඩදාසි කර්මාන්ත සංයුක්ත මණ්ඩලය ලෙස නම් කරන ලද මේ යෝධ කර්මාන්ත ශාලාව 1977 දී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන බලයට පත්වීමෙන් පසු ක‍්‍රමානුකූල ලෙස අභාවයට පත්විය. රටට තිබූ කඩදාසි මෝල ජේ. ආර්. විසින් කා දමන ලදැයි විශාල දෝෂාරෝපණයක් පැතිර ගියේය. එහෙත් ඇත්ත කතාව මෙසේය. කඩදාසි මෝලක් හැදුවාට කඩදාසි හදන දැව පල්ප් සකස් කිරීමට අවශ්‍ය ගස් සහිත වනාන්තර මේ රටේ නැත. ඒ නිසා පිටරටින් පල්ප් ගෙන්වා කඩදාසි සෑදීමට සිදුවිය. ඊට අමතරව පාවිච්චි කළ කඩදාසි නැවත අඹරා පල්ප් බවට පත්කර දුඹුරු පැහැති කාඞ් බෝඞ් වර්ගයක් ද සිමෙන්ති උර සාදන ඝන කඩදාසි ද පමණක් නිපදවන ලදී. 1977 දී පැතිරෙන්නට පටන් ගත් විවෘත ආර්ථික මතවාදය හේතුවෙන් ලංකාවේ හදන කඩදාසි වර්ග ඉතා ලාබෙට පිටරටින් ගෙන්වා ගත හැකි විය. ඒ අතර ලංකාවේ සෑදීමට නොහැකි පුවත්පත් මුද්‍රණ කඩදාසි සහ පොත් මුද්‍රණ කඩදාසි ද ඉතා ලාබෙට පිටරටින්ම ආවේය. ඉන්පසු වාලච්චේනායි කඩදාසි මෝල වැසී ගොස් ඒ පිළිබඳ මතකය ද මෝල ද යන දෙකම දිරාපත් විය. මේ මෝල තුළ දිරාපත් වෙමින් පැවැති ඩොලර් මිලියන ගණන් වටිනා යන්ත‍්‍ර දිහා ආසාවෙන් බැලූවේ පරණ යකඩ මුදලාලිලා පමණි. එහෙත් විමල් වීරවංශ කර්මාන්ත ඇමැති වූ පසු මේ මෝල යළි පණ ගැන්වීමට පටන් ගත්තේය. මෝල වැඩ කරන්නට පටන්ගෙන ටික දවසකින් කර්මාන්ත ඇමැතිතුමා ආණ්ඩුව විසින් දොට්ට දමන ලදී. අද එතුමා රාජපක්ෂවරුන්ගේ පරම සතුරෙකි.

හැබැයි පසුගිය කාලයේදී ආණ්ඩුව එක බුද්ධිමත් වැඩක් කළ බව මෙය ලියන අප සහ මෙය කියවන ඔබ වැනි සාමාන්‍ය ජනයාට හැඟී ගොස් තිබේ. ඒ වූකලී කඩදාසි ඉවර වීමට පෙර ආණ්ඩුව සල්ලි තොගයක් අච්චු ගසා ඉවර කිරීම ය. මේ සල්ලි තොගය මුද්‍රණය කළේ ලංකාවේ තෝමස් ඩි ලාරු කොම්පැනිය ද නොඑසේ නම් එංගලන්තයේ බ‍්‍රැඞ්බරි විල්කින්සන් කොම්පැනිය ද යන්න ගැන අපට අවබෝධයක් නැත. අපට හැෙඟන එකම දෙය කඩදාසි හිඟ වීමට පෙර ආණ්ඩුව තමන්ට අවශ්‍ය සල්ලි තොගය අච්චු ගසා අවසන් කළ බව පමණි. රටේ තත්ත්වය කෙතරම් නරක්ව තිබේද යත් පෙරේදා වනවිට තෙල් පෝලිම්වල සිටගෙන සිට ක්ලාන්ත වී බිම ඇද වැටී මියගිය ගණන 4 දෙනෙක් දක්වා ඉහළ නැංගේය. ඒ මිනිස්සු මැරුණේ ඛනිජ තෙල්වලට කිසිදු සම්බන්ධයක් නැති ලෙඩ රෝග නිසා වන්නට පුළුවන්. එසේම ඒ මිනිසුන් මිය ගියේ කර්ම ශක්තියට අනුව නිසි ආයු කාලය අවසන් වීම නිසා වෙන්නටත් පුළුවන්. එහෙත් මේ මරණ සම්බන්ධයෙන් පින්තාරු වී තිබෙන චිත‍්‍රය ආණ්ඩුවට ඉතාම අවාසි සහගත ය. ආණ්ඩුවට විරුද්ධ ඩිජිටල් මාධ්‍ය සියල්ල කියන්නේ මේ හතරදෙනා ආණ්ඩුවේ අසමත්කම නිසා මිය ගිය බවය. පසුගිය දා ?ක තෙල් පෝලිමකදී හටගත් ගුටි කෙළියකින් පසු පිහි ඇනුමක් සිදුවී එකෙක් මළේය. මේ පිහි ඇනුම සිදු කළේ ගෝඨාභය රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ නොවේ. එහෙත් මේ සිද්ධියේ විභවයට අනුව සිද්ධිය පිළිබඳව බැණුම් අහන්නේ ඒ දෙදෙනාය. පසුගිය දා යාපනයේ සංචාරය කළ අගමැති මහින්ද රාජපක්ෂ කියා සිටියේ ලංකාව මේ මොහොතේ ලයිට් කැපිල්ලකට ලක්ව ඇත්තේ පසුගිය යහපාලන ආණ්ඩුව එකම විදුලි

බලාගාරයක්වත් නොහැදූ නිසා බවය. අපට හැෙඟන පරිදි මෙතැන ඇත්තේ විදුලි බලාගාරවල හිඟයක් නොවේ. තෙල් හා වතුර හිඟයයි. ජල විදුලි බලාගාර සියල්ලේම වතුර ඉවර වී මහ පොළොව පෑදී ඇති අතර එම පොළොව කට්ටි කර ඉඩම් වෙන්දේසිකරුවන් ලවා විකිණිය හැකි මට්ටමක් ඇතිවී තිබේ. ඒ අතර දැවි තෙල්, ඞීසල් සහ නැප්තාවලින් ක‍්‍රියා කරන විදුලි බලාගාර අක‍්‍රීයව ඇත්තේ එකී ඉන්ධන ගැනීමට අපට සල්ලි නැති නිසාය. මීට අවුරුදු 75 ට පමණ පෙර විසිතුරු වළලූ, මාල සහ රිබන් වර්ග ද පනා සහ සුවඳ විලවුන් වර්ග ද විකුණන තොරොම්බල්කරුවන් නමැති වෙළෙඳ සමාජයක් තිබිණ. මේ අය මනි බඩුකාරයන් ලෙසද හඳුන්වනු ලැබේ. ගම්වලට යන මේ තොරොම්බල්කාරයෝ දුප්පත් ගෙවල් පසුකරන විට විසිතුරු ආයිත්තම්වලට ප‍්‍රිය කරන ඇතැම් ලලනාවක් වළලූ ජෝඩුවක් මිලට

ගනු පිණිස තොරොම්බල්කරු නවත්වා ගනී. ඉන්පසු ගෙට දුවන ඇය කොට්ට පැදුරු අවුස්සා, කැට කඩා සඟවා ඇති සියලූ තැන්වලින් මුදල් ඇද තොරොම්බල්කරුට බිල ගෙවා වළලූ ජෝඩුවක් මිලට ගනී. ලලනාව ගෙතුළට ගොස් බඩු ගැනීමට මුදල් හොයන තුරු තොරොම්බෝල්කාරයා පැයක පමණ කාලයක් ගෙවත්තේ ඇන තියාගෙන සිටී. අද ලංකාවට එන ගෑස් නැව් සහ තෙල් නැව්වලටද මෙකී තොරොම්බල් සීන් එක ඒ ආකාරයෙන්ම සිදුවී තිබේ. අප සල්ලි හොයන්නට පටන් ගන්නේ නැව වරායට පැමිණි කලය. එසේ සල්ලි හොයන තුරු දින ගණන් නැංගුරම් දමාගෙන සිටින්නට නැවට සිදුවේ. එවිට එසේ ගතවන දින ගණන වෙනුවෙන් නැවට ප‍්‍රමාද ගාස්තු ගෙවිය යුතුය. මීට අවුරුදු 75 ට පෙර සිටි දැනට වඳවී ගොස් සිටින තොරොම්බෝල් ප‍්‍රජාව සහ කොළඹ වරායට එන තෙල් හෝ ගෑස් නැව් අතර ඇත්තේ සුළු වෙනසකි. එනම් තොරොම්බෝල්කාරයා ප‍්‍රමාද ගාස්තු අය කරන්නේ නැත.

මේ රට මේ ආකාරයෙන් තව කොපමණ කලක් අල්ලා සිටිනවාද යන්න රටේ පවතින ආර්ථිකය විග‍්‍රහ කරන කෙනකු තුළ හට ගන්නා ලොකු ප‍්‍රශ්නයකි. එයට කව්රුත් බියවිය යුතු නැති අතර මේ රට මේ යන විදිහටම ලෝක අවසානය තෙක් ගමන් කරනවා ඇත. කුඩා උදාහරණයක් කියමු. ලෝකයේ රටවල් සතුට අනුව ශ්‍රේණිගත කරන ලේඛනයක් ඇත. මීට දින කිහිපයකට පෙර ශ‍්‍රී ලංකාව එම ලේඛනයේ පෙර සිටි තැනින් වඩාත් ඉහළ තැනකට ගොස් ඇත. එනම් මේ රටේ මිනිස්සු තවත් ටිකක් වැඩියෙන් සතුටෙන් සිටිති. මේක නම් යකාගේම කෙළියකි.

advertistmentadvertistment
advertistmentadvertistment