යාචකයකු මරා තමන් දිවිනසා ගත් බවට පොලිසිය ඇන්දුව වරෙන්තුකරු වමාරයි – ‘ගේමට’ උඩගෙඩි දුන් මිතුරාත් දැලේ

281

යාචකයකු පැහැරගෙන ගොස් හබරණදී ඝාතනය කර ඔහුගේ සිරුර පුළුස්සා දමා තමන් සියදිවි හානිකර ගත් බවට පොලිසිය නොමග යැවූ අපරාධකරුවකු මකුළුගස්වැව පොලිසිය මගින් පෙරේදා (17 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. යාචකයා ඝාතනය කර මෙම රංගනය සඳහා අපරාධකරුට සහාය දුන් ඔහුගේ සමීපතම මිතුරාද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ අධිකරණයේ විභාග වන නඩු කීපයකින් බේරීම සඳහා තමා යාචකයා ඝාතනය කර සිරුර පුළුස්සා මියගියේ තමන් බවට ඒත්තුගන්වා පොලිසිය නොමග යැවීමට මෙම ක්‍රියාව සිදුකළ බවයි. සුදේශ් ඉලංගසිංහ නමැති 26 හැවිරිදි ප්‍රධාන සැකකරු හබරණ කුමාරබදුව පලුගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. විවිධ අපරාධ සම්බන්ධයෙන් මොහු අධිකරණයේ වරෙන්තු ලබා සිටි අයෙකි. ඉකුත් 2021 වර්ෂයේ ඔක්තෝම්බර් මස 29 වැනිදා මොහු තම සමීප මිතුරා වන ප්‍රදීප් ගයාන් නමැත්තා සමග එක්ව යාචකයකු පැහැරගෙන ත්‍රිරෝද රථයක දමාගෙන පලුගස්වැව ප්‍රදේශයේ ගල්වළකට රැගෙන ගොස් තිබිණි.

එහිදී මොවුන් යාචකයා ඝාතනය කර ඔහුගේ සිරුර පුළුස්සා දමා මියගියේ සුරේෂ් ඉලංගසිංහ බව ඒත්තුගැන්වීමට කටයුතු කර තිබිණි. හබරණ පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අතර මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි ලබාදීම සඳහා පවුලේ කිසිවකුත් පැමිණ සිටියේ නැත.

මේ අතර ඉකුත් 10 වැනිදා මකුළුගස්වැව පොලිසියට එක්තරා කාන්තාවක විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් තම හැඳුනුම්පත අස්ථානගත වූ බවත් එය අසල්වැසි නිවසක පදිංචි තරුණයා ගන්නට ඇති බවට සැකකරන බවත් සඳහන් කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු කළ සියලු අපරාධ අනාවරණය විය. මීට වසර දෙකහමාරකට පමණ පෙර යාචකයකු ඝාතනය කර මියගියේ තමා බවට ඒත්තුගැන්වීමට උත්සාහ කළ සුරේෂ් ඉලංගසිංහ මෙම පුද්ගලයා බව විමර්ශනවලින් හෙළිවිය.

ඒ අනුව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු සියලු තොරතුරු හෙළි කළ අතර යාචකයා ඝාතනය කිරීමට සහය වූ ඔහුගේ මිතුරා ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. ගලේවෙල අන්දරගොල්ල ප්‍රදේශයේ වත්තක සේවය කළ මෙම සැකකරුවන් දෙදෙනා සිදුකළ අපරාධ ගණනාවක තොරතුරු හෙළිවී තිබේ.

ප්‍රදීප් ගයාන් නමැති සැකකරු ද විවිධ අපරාධවලට සම්බන්ධ වූ අයකු බව හෙළි විය. ප්‍රදීප් ගයාන් සිය තරුණ බිරිඳ යොදාගෙන පොහොසත් තරුණයන් නිවසට ගෙන්වාගෙන ඔවුන් සතු මුදල් රන් ආභරණ කොල්ලකෑම සිදුකර ඇති බව හෙළිවී තිබේ.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment