යාපනය බස් නැවතුමේ මත්පැන් සාදයක් දැමූ කඩු කල්ලි නායකයා රිමාන්ඩ්

466

මිනිසුන් බිය වද්දමින් මත්ද්‍රව්‍ය යොදාගෙන යාපනය බස් නවතුම්පළේදී උපන් දින සාදයක් පැවැත් වූ කඩු කල්ලියේ නායකයා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව නොවැම්බර් මස 9 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස යාපනය මහෙස්ත්‍රාත්වරයා ඉකුත් 24 දා නියෝග කොට තිබේ.

ඔහු කප්පම් ගැනීම් හා මංකොල්ලකෑම් සඳහා යාපනයේ ක්‍රියාත්මක වන කඩු කල්ලියක නායකයා වෙයි.

ඔහුගේ උපන් දිනය නිමිත්තෙන් මහජනතාව ගැවසෙන යාපනය බස් නැවතුම් පළේ උපන්දින සාදයක් සංවිධානය කොට එහිදී කේක් කපා මත්ද්‍රව්‍ය පානය කරමින් කෑ කෝ ගසමින් ජනතාවට බාධාවන සේ හැසිරී තිබේ. යතුරුපැදි 100 කින් පමණ පැමිණි මේ පිරිස ගැන ජනතාව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය පැමිණ තරුණයන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන යාපනය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී යාපනය මහෙස්ත්‍රාත්වරයා එම උපන්දින සාදය පැවැත්වීමට මුල් වූ පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කොට තිබුණි. ඒ අනුව යාපනය පොලිසිය මීට පෙර මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව මේ මස 27 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා උපන් දින සාදය පැවැත්වීමට මුල්වූ පුද්ගලයාද අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග කළේය. පොලිසියට ලැබුණු ඔත්තුවකට අනුව සැකකරු වෙනත් නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment