රජය අන්තර්ජාතික ප්‍රජාවෙන් සහාය ලබාගැනීම

115

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව යළිත් වරක් හැකියාවට වැඩි යමක් කරන්නට යන බව පෙනෙන්නට තිබේ. නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ (NAM) 19 වැනි රාජ්‍ය නායකයන්ගේ සමුළුව සහ උගන්ඩාවේ කම්පාලා හි පැවැති ‘චීනය සහ 77 කණ්ඩායමේ 3 වැනි දකුණු සමුළුවේදී‘ ජනාධිපතිවරයා ප්‍රධාන වේදිකාවට පැමිණියේය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, උගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසවේනිගේ ආරාධනයෙන් ජනාධිපති වික්‍රමසිංහ මෙම තීරණාත්මක ගෝලීය රැස්වීම්වලට සහභාගි වූවා පමණක් නොව, නොබැඳි ජාතීන්ගේ සමුළුව සහ ‘දකුණු සමුළුව’ යන දෙකම ඇමතූ බවයි. කම්පාලා සංචාරය අතරතුර, ඔහු අප්‍රිකානු කලාපයේ නායකයන් සමඟ සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් ගෝලීය දකුණේ සගයන් සමඟ සාකච්ඡා කළ බව වාර්තා වේ.

නොබැඳි ව්‍යාපාරයේ නායකයන් 120 දෙනාගේ ඡායාරූපයේ දැක්වෙන්නේ, සමුළුවේ සත්කාරක උගන්ඩාවේ ජනාධිපති මුසවේනි අසල ඉදිරි පේළියේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිටින බවයි. ශ්‍රී ලංකාව මේ ආකාරයෙන් අවසන් වරට ඉස්මතු වූයේ 1976 දී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ මූලිකත්වයෙන් නොබැඳි ජාතීන්ගේ සමුළුව කොළඹදී පැවැත්වූ අවස්ථාවේදීය. එය සංවර්ධනය වෙමින් පවතින රටවල් අන්තර්ජාතික ආර්ථික යුක්තිය සඳහා වැඩි ඉල්ලීම් ඉදිරිපත් කිරීමට නැඹුරු වූ වැදගත්ම රැස්වීම්වලින් එකකි. එකල ශ්‍රී ලංකාව සමානාත්මතාවෙන් යුතුව සංවර්ධනය කිරීමේ හැකියාව පෙන්නුම් කළ බැවින්, අන්තර්ජාතික තලයේ ආර්ථික ප්‍රවණතා සකසන්නකු විය. ඉහළ ඒක පුද්ගල ආදායමක් ඇති අනෙකුත් බොහෝ රටවල් අභිබවා යන භෞතික ජීවන තත්ත්ව දර්ශකයක් එකල ශ්‍රී ලංකාව සතු විය.

සමුළුවේ දී ජනාධිපති වික්‍රමසිංහ ප්‍රවණතා සකස් කරන දේශනයක් පැවැත් වූ අතර, එහිදී රැස්ව සිටි ලෝක නායකයන්ගේ ගෞරවය ඔහුට හිමිවිය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිය කතාවේදී සංවර්ධනය වෙමින් පවතින රටවලට අදාළ කේන්ද්‍රීය කරුණු දෙකක් සම්බන්ධයෙන් නිර්භීතව අදහස් පළකළේය. ඔහු ගාසා තීරයේ යුද්ධය සහ ගෝලීය උතුර විසින් ගෝලීය දකුණේ අඛණ්ඩ ආධිපත්‍යය පැතිරවීම පිළිබඳව ප්‍රශ්න කළේය. ගාසා තීරයේ මානුෂීය අර්බුදය පෙන්වාදුන් ඔහු, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුමට මුහුණදීමේ අත්දැකීම් සමඟින්, “එක්සත් ජාතීන්ගේ බහුවිධ යෝජනා සහ මෙම සමුළුවේ ප්‍රකාශනයට අනුකූලව, අන්තර්ජාතික ප්‍රජාව බටහිර ඉවුර පිළිගත යුතුය. ගාසා තීරය සහ නැගෙනහිර ජෙරුසලම පලස්තීන රාජ්‍යයට අයත් භූමි ප්‍රදේශ වන අතර ඊට අමතරව ගාසා තීරයේ ජනවාර්ගික සංයුතියේ කිසිදු වෙනසක් සිදු නොවිය යුතුය” යැයි අවධාරණය කළේය.

ක්‍රමාංකනය කරන ලද ප්‍රවේශය

එක්සත් ජනපදය ප්‍රමුඛ අන්තර්ජාතික නාවික හමුදාව සමග එක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ යුද නැව් රතු මුහුදට යැවීමට ජනාධිපතිවරයා ගත් මතභේදාත්මක තීරණයෙන් පසුව, ශ්‍රී ලංකාවේ මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද මුස්ලිම් හැඟීම් සමනය කිරීමට ජනාධිපතිවරයාට බොහෝ දේ කිරීමට ඇත. සාගරයේ නිදහස ආරක්ෂා කිරීම සඳහා සැතපුම් දහස් ගණනක් ඈතට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නැව් යැවීමට ජනාධිපතිවරයා ගත් තීරණය ශ්‍රී ලංකාවේ සිටින සියලුම මැද පෙරදිග තානාපතිවරුන් ඔහු හමුවීමට හේතුවිය. ජනගහනයෙන් හතරෙන් එකකට වඩා දරිද්‍රතා රේඛාවට පහළින් සිටින රටකට මෙවැනි මෙහෙයුමක් වෙනුවෙන් වැයකෙරෙන අධික පිරිවැය දැරිය නොහැකි බවට කනස්සල්ල පළකිරීම් ද ඉදිරිපත්ව ඇත. මීට අමතරව, පලස්තීනය වෙනුවෙන් සහයෝගය දක්වන ශ්‍රී ලංකාව, රතු මුහුදට නෞකා යැවීම ඔස්සේ මුස්ලිම් ජනතාවගේ හැඟීම් නොසළකා හරින බවක්ද ප්‍රදර්ශනය කර ඇත.

ජනාධිපතිවරයාගේ අනුගාමිකයකු වන එජාප සභාපති වජිර අබේවර්ධන, ජනාධිපතිවරයාගේ නොයෙකුත් විදේශ සංචාරවල තාර්කිකත්වය පැහැදිලි කර ඇත්තේ, අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ රටේ අවශ්‍යතාවලට මුල්තැන දීමේ අවශ්‍යතාව මත සිදුකෙරෙන්නක් ලෙසිනි. රටට අනවශ්‍ය ලෙස අමතර වියදම් දැරිය නොහැකි කාලයක ජනාධිපතිවරයා අධික ලෙස මුදල් වියදම් කරන බවට විවේචන එල්ල වී තිබේ. වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ රට අර්බුදකාරී තත්ත්වයක අද්දර සිට, සංවර්ධන මාවතකට ගෙනයෑමට ගත් උත්සාහය හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලෝක අවධානයට ලක්ව ඇති බවත්, මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා විදේශ සංචාර ජනාධිපතිවරයා විසින් ඵලදායී ලෙස භාවිත කළ බවත් එජාප සභාපතිවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ලෝක බැංකුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ජයිකා වැනි අන්තර්ජාතික ආයතනවල සහාය ඇතිව රට ඉදිරියට ගෙනයෑමට විභව අවස්ථාවක් තිබෙන බව ඔහු සඳහන් කර ඇත. මේ අනුව බලන විට පෙනීයන්නේ, ජනාධිපතිවරයා රටට ලැබෙන ප්‍රතිලාභ උපරිම කිරීම සඳහා ක්‍රමාංකනය කළ විදේශ ප්‍රතිපත්ති ප්‍රවේශයක් අනුගමනය කරන බවයි. රජය හෝ ජනාධිපතිවරයා රතු මුහුදේ නාවික මෙහෙයුම සම්බන්ධ සිය ස්ථාවරය වෙනස් නොකිරීමට කටයුතු නොකිරීම විශේෂත්වයකි.

රජය අන්තර්ජාතික ප්‍රජාවෙන් සහාය ලබාගැනීම

උගන්ඩාවේ පැවැති නොබැඳි සමුළුවේදී

ජනාධිපතිවරයා කළ කතාවේ දෙවැනි භාගයද පළමු භාගය තරම්ම ප්‍රබල එකක් විය. ජනාධිපතිවරයා නොබැඳි රටවල බුද්ධිමත් නායකත්වය එහිදී නියෝජනය කරනු ලැබීය. ඔහු උතුරු-දකුණු භේදය සහ ගෝලීය දකුණ තමන් විසින්ම ශක්තිමත් කරගැනීමේ අවශ්‍යතාව ගැන කැළඹෙන ලෙස කතා කළේය. ඔහු පැවසුවේ “අද අපගේ සාමාජිකත්වය තවදුරටත් දුර්වල රාජ්‍යයන් සමූහයක් නොවේ. ඇතැම් ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රාජ්‍යවල ශීඝ්‍ර ප්‍රගතිය සහ ආර්ථික දියුණුවේ ප්‍රතිඵලයක් ලෙස අප එය හඳුනාගත යුතුයි. 2050දී ලොව ප්‍රමුඛ ආර්ථිකයන් 10න් බහුතරයක් මෙම කණ්ඩායමට අයත් වේ. ගෝලීය කටයුතුවලදී නායකත්වය සඳහා නැගී එන අපේක්ෂකයන් අපි අතර දකිමු. ඔවුන් නායකත්වය ලබාදීමට සූදානම් විය යුතුයි.”

විශ්වාසය දිනාගැනීම

උගන්ඩාවට පැමිණ සිටි රටවල් 120න් අඩකට ආසන්න ප්‍රමාණයක් අප්‍රිකානු මහාද්වීපය නියෝජනය කරන අතර, ඉදිරියේදී ඔවුන්ගේ සහයෝගය තමන්ට අවශ්‍ය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැන සිටින බව නිසැකය. “ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” යන තේමාව යටතේ 46/1 සහ 51/1 යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාව මේ වසරේ මාර්තු මාසයේදී සහ සැප්තැම්බර් මාසයේදී ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට පැමිණේ. 2009 වසරේ යුද්ධය අවසන් වූ දා සිට ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දැඩි තර්ජනවලට ලක්විය. එය ජයගැනීමට හැකිවූයේ එක් වරක් පමණක් වන අතර, පශ්චාත් යුද ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කිරීමේදී සිය අවංක බව ගෝලීය දකුණේ රටවලට ඒත්තු ගැන්වීමට ආචාර්ය දයාන් ජයතිලක ප්‍රමුඛ එහි රාජ්‍ය තාන්ත්‍රිකයෝ සමත් වූහ. එහෙත් එදා සහ පසුව දුන් පොරොන්දු ක්‍රියාත්මක නොකිරීම නිසා, ඉන් පසුව ශ්‍රී ලංකාවට සෑම ඡන්දයක්ම අහිමි විය.

වර්තමානය වන විට ශ්‍රී ලංකාවට පශ්චාත් යුද වකවානුවේ ඉටුකරන බවට පොරොන්දු වූ බොහෝ දේ ඉතිරිව ඇත. බලයට පත් වූ ආණ්ඩු තම වචනය ඉටුකිරීමට අපොහොසත් වීම නිසා අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රජාව ජිනීවාහි අන්තර්ජාතික දත්ත රැස් කිරීමේ ඒකකයක් පිහිටුවා ඇත. “ශ්‍රී ලංකාවේ මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීම් හෝ අන්තර්ජාතික මානුෂීය නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම් සඳහා අනාගත වගවීමේ ක්‍රියාවලීන් වෙනුවෙන් තොරතුරු සහ සාක්ෂි එකතු කිරීම, ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය සහ සංරක්ෂණය කිරීම සහ වින්දිතයන් සහ දිවි ගලවාගත් අය වෙනුවෙන් පෙනීසිටීම සහ අදාළ අධිකරණයන්ට සහායවීම හා අනෙකුත් ක්‍රියාදාමයන් සිදුකිරීමට නිසි අධිකරණ බලය” මෙම ඒකකය හරහා සාමාජික රාජ්‍යයන් ලබාදී ඇත. කෙසේවෙතත්, ජනාධිපතිවරයාගේ උගන්ඩාවේ බලපෑම් කිරීමේ උත්සාහයෙන් පසුව, 2009 දී මෙන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී බොහෝ රටවල් ඔවුන්ගේ නිරීක්ෂණ අවසන් කිරීමට නම්මවා ගැනීමට ශ්‍රී ලංකාවට නැවත වරක් හැකිවනු ඇත.

ගාසා තීරයේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වෙනසක් කිරීමට ඇති නොහැකියාව හමුවේ එක්සත් ජාතීන්ගේ විශ්වසනීයත්වය දැඩි ලෙස ඛාදනය වීම, ශ්‍රී ලංකා රජයේ කාර්යය අන්තර්ජාතිකව ජයගැනීම පහසු කර ඇත. රජය සිය සංහිඳියා යාන්ත්‍රණයන්, විශේෂයෙන්ම මේ මස මුලදී පාර්ලිමේන්තු පනතක් සම්මත කර ස්ථාපිත කළ ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලය සහ දැන් මේ මාසයේ ගැසට් කරන ලද පනත් කෙටුම්පතක් හරහා සත්‍යය, එකමුතුකම සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම ඔස්සේ ඉදිරියට යමින් තම සාර්ථකත්වය දෙගුණ තෙගුණ කරමින් සිටී. අන්තර්ජාතික ප්‍රජාව ශ්‍රී ලංකා රජයේ මෙම මුලපිරීම් කෙරෙහි පැහැදීමක් ඇති කර ගැනීමට අසමත් වනු ඇතැයි සිතිය නොහැක. ආණ්ඩුව අන්තර්ජාතික තලයේ සටන් එකින් එක ජයගනිමින් සිටී. ජනතාවගේ විශ්වාසය දිනාගැනීමද මෙහිදී අත්‍යවශ්‍ය අංගයක් වන නමුත්, ශ්‍රී ලංකාව තුළ එය පවතිනු ඇත්ද යන්න ප්‍රශ්නයකි. අනෙක් අතට පසුගියදා පැවැති ශ්‍රී ලංකාවේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂයේ නව නායකයා තෝරාගැනීමේ මැතිවරණයේදී මධ්‍යස්ථ අපේක්ෂකයා පරාජයට පත්වීමෙන් ඇඟවෙන්නේ තවත් බොහෝ දේ අනාගතයේදී සිදුකළ යුතුව ඇති බවයි.

ජෙහාන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment