රට පතුළේ තියෙද්දී 13ද දැන් ප්‍රශ්නේ

692

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දැඩි උද්‍යෝගයකින් මෙන්ම සුවිශේෂ අවධානයකින් ද යුතුව ඉදිරිපත් කරන ලද 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමේ දේශපාලන ක්‍රියාන්විතයට මේ වනවිට විවිධ ප්‍රතිචාර ලැබී තිබේ. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රයත්නය සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාර දක්වන අය අඩුවීමත් සංශයවාදීව මෙන්ම නිෂ්ක්‍රීය ලෙස ලැබෙන ප්‍රතිචාර වැඩි බවත් අපගේ අදහස ය. ඇත්ත වශයෙන් ම දශක තුනකටත් අධික කාලයක් මෙරටේ බලයට පත්වූ කිසිදු ජනාධිපතිවරයෙක් විසින් අත නොගසන ලද 13 වැනි සංශෝධනය යනු අදටත් අතිශය ආන්දෝලනාත්මක විෂයයකි. ජේ. ආර්. ජයවර්ධන වැනි කලාපයේ සිටි ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයකු මෙන්ම බොහෝදෙනෙක් විසින් දේශපාලන කෞටිල්‍යයකු ලෙස ද හඳුන්වනු ලබන චරිතයක් පවා මෙම 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මඳක් පසුගාමී වූ බව ද පෙනේ. එදා ජයවර්ධන මෙම විධිවිධාන අපේ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට අකැමැත්තෙන් කැමති වූ බව සමහරු කීහ. සිංහල ජාතික කඳවුර එම ක්‍රියාව හැඳින්වූයේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාගේ අත අඹරවා එයට අත්සන් ලබා ගැනීමක් ලෙස ය.

ඇත්ත වශයෙන්ම හයෙන් පහක බලයක් ද සහිතව මෙරටේ සමාජ ආර්ථික දේශපාලන ආදී හැම ක්‍ෂේත්‍රයක්ම උඩුයටිකුරු කළ ජයවර්ධන, 13 වැනි සංශෝධනයට පැකිළීම පිළිබඳ විවිධ කතා ද තිබේ. ඇතැම් විට මෙම සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද බෙදුනු තීන්දුව ද ජයවර්ධන ජනාධිපතිවරයාගේ මනසෙහි විදුලි කොටමින් තිබුණා ද විය හැකිය. මෙම සංශෝධනය ඒකීය රාජ්‍ය ව්‍යුහයට මෙන්ම ජනතා පරමාධිපත්‍යයට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර තීරණය විය. ඒ සඳහා විනිසුරුවරුන් පස්දෙනෙක් එකඟ වෙද්දී හතර දෙනකු එයට එකඟ නොවූහ. එනිසා නීති ක්‍ෂේත්‍රය තුළ වුව ද මෙම සංශෝධනය විවාදාත්මක එකක් විය. එසේම ප්‍රභාකරන්ගේ ඊළාම්වාදය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසුව වුවද මෙම 13 වැනි සංශෝධනය යළිත් සමාලෝචනය කිරීමට අපේ පාලකයෝ අසමත් වූහ. ඇත්තටම මෙම අර්බුදය නිසා සිංහල දෙමළ විරසකයත්, අනෙක් ජනවර්ගය වන මුස්ලිම්වරුනුත් බරපතළ හා කටුක අත්දැකීම්වලට මුහුණ දුන් බව ද රහසක් නොවේ. එමතු නොව ජාතිය හා ආගම මත ජනතාව බෙදීමටත්, ඒ ප්‍රශ්න පෙරට දමා බලය ඩැහැගැනීමටත් සිංහල දෙමළ මෙන්ම මුස්ලිම් නායකයෝ ද පසුබට නොවූහ. ඒ වර්ගවාදී උමතුවෙන් ගිලන් වූ ජාතික දේශපාලන නායකයන්ට එකඟතාවක් සම්මුතියක් ඇතිකර ගැනීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකාවේ ආර්ථික හා සංවර්ධන ක්‍රියාදාමයට ද දැඩි හානි සිදුවිය.

කෙසේ හෝ අහඹු ලෙස මෙරටේ ජනාධිපති ධුරයට පත්වූ රනිල් වික්‍රමසිංහ ඒ 13 වැනි සංශෝධනය නමැති උභතෝකෝටිකය විසඳාලීමට ඉදිරිපත්වීම එක් අතකින් නිර්භීත පියවරකි. එහෙත් අනෙක් අතට එය ඉහත කී සමාජ කොටස් තුළ නිදන්ව තිබෙන අවිශ්වාසය හා සැකය යළිත් මතු කිරීමකි. සිංහල ජාතිකත්වය මත පදනම් වූ සියල්ලන්ම මෙහිදී ජනාධිපතිගේ ප්‍රයත්නය දෙස සැකමුසුව බලන ආකාරය පැහැදිලිවම දැකගත හැකිය. නිසැකයෙන් ම එය අවිශ්වාසය මත පදනම්ව තිබේ. අවුරුදු 36 ක් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් හැදෑරීමක් තබා විමසීමක් හෝ සිදුවී නොමැති පසුබිමක පමණක් නොව රට ආර්ථික හා දේශපාලන අර්බුද රැසක හිරවී තිබෙන මොහොතක ජනාධිපති රනිල්ගේ ඒ සූදානම දෙස දැන් විවිධ ප්‍රතිචාර ද ලැබෙමින් තිබේ.

බොහෝදෙනකු මෙහිදී මතුකරනු ලබන එක් කරුණක් ඇත. ඒ ජනවරමක් නැති අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට එසේ ක්‍රියා කළ හැකි ද යන්නයි.

රනිල් යනු මෙරටේ බිහි වූ දෙවන අනුප්‍රාප්තික ජනාධිපතිවරයාය. ඔහුගේ සම්ප්‍රාප්තිය දේශපාලන සරදමක් වැන්න. ඔහුගේ ප්‍රබල ප්‍රතිවදියා වූ මහින්ද පමණක් නොව එජාපයේ සනාථන සතුරන් වූ පක්‍ෂයක් විසින් ම ඔහුව විධායක පුටුවේ වාඩි කරවීමය. මෙයට පෙර ද එක් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් විය. ඒ ඩී. බී. විජේතුංගය. ඔහු එම පක්‍ෂයේ ම සිටි අගමැතිවරයා ද විය. එහෙත් රනිල් කොළඹින් සිය ආසනය ද සමඟ පක්‍ෂයම පරාජයට පත්වූ පසුබිමක රටේ විධායකයට ද පත්විය. එසේම විජේතුංග හා රනිල් යනු එකම දේශපාලන කඳවුරක සිටියත් අහස පොළොව මෙනි. විජේතුංග දේශපාලනයේදී කළ ක්‍රියාකාරකම් හා රනිල්ගේ දේශපාලන භූමිකාව සැසඳීමේදී එය පසක් කරගත හැකිය.

කෙසේ හෝ දැන් රනිල් විධායක නිල බල හොබවමින් ආරම්භ කළ අලුත් දේශපාලන කතිකාව මෙම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. එය වසර 36 ක් හමස් පෙට්ටියක දැමුවාක් මෙන් අක්‍රීයව තිබුණු අතිශය ආන්දෝලනාත්මක විෂයයකි. රනිල්ගේ එම දේශපාලන මෙහෙයුම සම්බන්ධයෙන් ඔහුට සහාය දෙන පොදුජන පෙරමුණ දක්වන ප්‍රතිචාරය පළමුව විමසා බලමු. එහි ලේකම් සාගර කාරියවසම් සෘජුවම ප්‍රකාශ කරන්නේ 13 වැනි සංශෝධනයේ බලය බෙදීමට මේ සුදුසු අවස්ථාවක් නොවන බව ය. ඔහුගේම වචනය අනුව ඒ සඳහා යොමුවීම ප්‍රඥාගෝචර නැත. ඔහු පෙන්වා දෙන්නේ පළමුව රටේ බංකොලොත් බවත්, බිඳුණු ආර්ථිකයත් ගොඩදමා දෙවනුව මේ පිළිබඳ ක්‍රියාකිරීම යෝග්‍ය බවය. පොදුජන පෙරමුණේ ලේකම් ලෙස සාගර එබඳු ප්‍රකාශයක් කරන්නේ නම් ඒ ගැන තව කතා කළ යුතු ද? සාගරගේ ප්‍රකාශය පොදුජන පෙරමුණෙහි නැතහොත් පොහොට්ටුවේ දේශපාලන ස්ථාවරය බව අපට පිළිගත හැකිය. එය එසේ නොවේ නම් එහි නායක මහින්ද හෝ පක්‍ෂයේ නිර්මාතෘ බැසිල් හෝ ඒ පිළිබඳ නිවේදනයක් කළ යුතු ය. සාගරගේ නිල ප්‍රකාශයට අමතරව එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් විසින් පක්‍ෂයේ ආසන බල මණ්ඩල හමුවලදී ප්‍රකාශ කරන ලද්දේත්, රනිල් තම සීමා දැන හැඳින යනතාක් ඔහුට පක්‍ෂයේ සහාය ලැබෙන බවය. එහි තේරුම් නම් පොහොට්ටුව ඔහුගෙන් අපේක්‍ෂා කරන්නේ පසුගියදා ධුරය හැර ගිය ගෝඨාභයගේ ජනවරමට අනුව ක්‍රියාකිරීම පමණි. පොහොට්ටුවේ නාමල්ගේ දේශපාලන ආමන්ත්‍රණවල ගැබ් වන්නේ ද තම පක්‍ෂය කිසි විටෙක දේශද්‍රෝහී ක්‍රියාකාරකම්වලට දායක නොවන බව ය. රටේ ඒකීයත්වය සුරැකීමට සටන් කළ රාජපක්‍ෂවරුන් නිබඳවම ජාතික ආරක්‍ෂාව, ජාතික වගකීම උදෙසා කැපවන බව ද නාමල් පවසයි. ඒ ප්‍රකාශවල ගැබ්වන ඇඟවීම් කුමක් ද?

පොහොට්ටුවෙන් ඉවත් වී සිටින නිදහස ජාතික සභාවේ මෙන්ම උත්තර ලංකා සභාගයේ ද ස්ථාවරය වී ඇත්තේ ජනාධිපති රනිල්ට කිසිසේත් හැටනව ලක්‍ෂයේ ජනවරමට පිටුපෑමට නොහැකි බව ය. ජාතික මතවාදය නියෝජනය සම්බන්ධයෙන් වෙනම අනන්‍යතාවක් පළකරන විමල් වීරවංශ, ගෙවිඳු කුමාරතුංග, සරත් වීරසේකර, උදය ගම්මන්පිල ආදීන්ට අමතරව ජී. එල්., වාසුදේව මෙන්ම චන්න ජයසුමන ද මෙම සංශෝධන ක්‍රියාවලියට එරෙහි වූවෝ බව පෙනී යයි. මෙහිදී චන්න ජයසුමන සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ගෝඨාභය හෝ මහින්ද විශේෂ ප්‍රකාශයක් රටට කළ යුතු බවකි. හැටනව ලක්‍ෂයේ ජනවරම තුළ කිසි ලෙසකින් 13 වැනි සංශෝධනයට ඉඩක් නැති බවත්, අලුත් ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ජනතාවට ලබාදුන් ප්‍රතිඥාව ඉටුකළ යුතු බවටත් ජයසුමන තර්ක කරයි.

රට පතුළේ තියෙද්දී 13ද දැන් ප්‍රශ්නේ

මේ හැර ගෝඨාභය වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා කළ ප්‍රකට හිමිනමක් වන මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ජනාධිපති රනිල්ගේ එම ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි බව ප්‍රකාශ කර ඇත. ජනාධිපතිවරයා කළ යුත්තේ 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සඳහා ජනතාව ඉදිරියට ගොස් අලුත් ජනවරමක් ලබාගැනීම බව ද උන්වහන්සේ අවධාරණය කරයි. රට බෙදීමට භික්‍ෂුව විරුද්ධ විය යුතු බව බුදුන් වහන්සේ ආකාශගර්භ සූත්‍රයේදී පෙන්වා දී තිබෙන කරුණක් බව අපට ද මතකය. එසේම මේ අවස්ථාවේදී මුනිවත රැකීම භික්‍ෂූන් වහන්සේගේ කාර්යභාරය නොවන බවත් ඒ හිමියෝ පවසති. එදා ගෝඨාභය වෙනුවෙන් වේදිකාවට නැගුණු අභයතිස්ස හිමියන්ගෙන් පොහොට්ටුවට ලැබුණු ජීවය ද සුළුපටු නොවේ. උන්වහන්සේ හැරුණු විට ජාතික කඳවුරේ සිටින භික්‍ෂූන් වහන්සේ මෙන්ම ගුණදාස අමරසේකර, වසන්ත බංඩාර ඇතුළු කණ්ඩායම් ද 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමට එරෙහිව දැනටමත් පුවත්පත් සාකච්ඡා පවත්වමින් ජනතාව දැනුවත් කිරීමට ද පියවර ගනිමින් සිටිති.

ජ.වි.පෙ. අනුර කුමාර පවසන්නේත් රටේ විනාශකාරී දේශපාලන දිශානතිය වෙනස් කිරීමේ කාර්යභාරයට තම පක්‍ෂය උරදී සිටින බවත්, ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කරන ලද දේශපාලනඥයන්ගෙන් රට ගලවා ගත යුතු බවත් ය. අනුර කුමාරගේ තවත් විවේචනයක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණවලට බාධා කරන ආණ්ඩුවක් ඒ ආයතන බලගැන්වීමට කතා කිරීම විහිළුවක් බවය. ජනාධිපති රනිල් විධායක බලය භාවිතා කරමින් පාර්ලිමේන්තුව පවා යටපත් කරන දේශපාලන මෙහෙයුමක නිමග්නව සිටින බවට ද අනුර කුමාර චෝදනා කරයි. ජනාධිපතිවරයා රටේ මූල්‍ය පාලනය පාර්ලිමේන්තුව සතු බවට තර්ක කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂා වෙනුවෙන් නොව අධිකරණය නොතකා හැරීමට ද යන සැකය දැන් මතුවී තිබෙන බව අනුර කුමාර පවසයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී අර්ථසාධක අරමුදල් අහිමි වන කිසිවකුට නීතියේ පිහිට පැතීමට දැන් ඉඩක් නැති බව ද අනුර කුමාර පාර්ලිමේන්තුවේදීම අවධාරණය කළේය. විධායකය සිය බලයට අභියෝගයක් වන කිසිම සාධාරණ නීතිමය පියවරකට පවා හරස් වන තත්ත්වයක් අද නිර්මාණය වන බව ද ඔහුගේ චෝදනාවකි. කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ බලය සම්බන්ධයෙන් ලබාදුන් දැඩි තීරණය ද මාලිගා කුමන්ත්‍රණයක් දැයි අනුර ප්‍රශ්න කරයි. ස.ජ.බ. නායක සජිත් ද පසුගිය දිනක සඳහන් කර තිබුණේ නුවරඑළියේ පැවැති නීති සමුළුව අබියස ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද කතාව ගැන තමන් කනස්සල්ලට පත්වන බව ය. අනෙක් අතට ජනාධිපතිවරයා ක්‍රමයෙන් සිය ධුරයේ අවසානය කරා එළඹෙමින් සිටියත් ඔහු පාර්ලිමේන්තුවට වඩා ඉහළින් සිටින හෝ ඒ බලය නොතකන විධායකයක් ලෙස ක්‍රියාකරන බව ද විපක්‍ෂ කණ්ඩායම්වල තවත් විවේචනයකි. එදා ජයවර්ධන අධිකරණය සම්බන්ධයෙන් දැක්වූ ප්‍රතිචාර අද ජනාධිපති රනිල් තෝරා ගනිමින් සිටින්නෙහි ද යන සැකය සිවිල් සමාජවල ද වේ.

කෙසේ හෝ ජනාධිපති රනිල්ගේ 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමේ දේශපාලන ක්‍රියාන්විතයට ඉදිරියට යා හැකි ද යන ප්‍රශ්නය දැන් බොහෝදෙනකු තුළ නැගෙයි. විශේෂයෙන් පොදුජන පෙරමුණ ඒ සම්බන්ධයෙන් දක්වන නිෂේධනීය ප්‍රතිචාරය ඒ අභිලාශයට බලවත් බාධකයකි. එසේම විමල්, ජී ඇල් ඇතුළු පොහොට්ටුවෙන් වෙන්වී සිටින සියල්ලෝම පාහේ මෙම ආන්දෝලනාත්මක දේශපාලන තීන්දුව ගැනීම වෙනුවෙන් අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාව ද පෙන්වා දෙති. පොදුජන පෙරමුණ 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් තම ස්ථාවරය ලිඛිතව ජනාධිපතිවරයා වෙත යවන බව ද එහි ලේකම් සාගර කාරියවසම් මාධ්‍යවලට පවසා තිබුණි.

මේ සියල්ල විවේකීව කල්පනාකර බලන කවර පුරවැසියකුට වුව ද ජනාධිපතිවරයාගේ 13 වැනි සංශෝධනය බලගැන්වීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් ඇත්තේ සංශයක් හෙවත් සැකයක් පමණි. ඇත්ත වශයෙන්ම ඇතැම් පිරිස් විසින් මතුකරනු ලබන දකුණේ ජනතාවට නැති එහෙත් උතුරේ ජනතාවට තිබෙන ප්‍රශ්නය කුමක්ද යන්න නැගීමට අප සූදානම් නොවන්නා සේම එයට එකඟතාවක් ද අප තුළ නැත. එහෙත් අපට උත්තරයක් නැති ප්‍රශ්නයක් නම් තිබේ. ඒ ස්වාධීන ස්වෛරී ජනරජයක් බවට උදම්අනන ලංකාවට මේ ප්‍රශ්නය සඳහා ඉන්දියාවට ඇහුම්කන් දීමට හෝ යටත් වීමට සිදුවන්නේ ඇයි? යනු ඒ ප්‍රශ්නයයි. එදා බි්‍රතාන්‍ය යටත්විජිතවාදයට එරෙහිව සටන් වැදුණු හැම රටක්ම පාහේ අද ස්වාධීනව නව ජාතික හා සංස්කෘතික අනන්‍යතාවන් ද

ගොඩනඟාගෙන සිටියි. ඇමෙරිකාව, යුරෝපය පමණක් නොව ඉන්දියාව ද අද ප්‍රබල සමාජ ආර්ථික ගමනකය. එහෙත් ලංකාව තවමත් නන්නත්තාර වූ රටකි. මෙයට වගකිව යුතු එක් පාර්ශ්වයක් වන්නේ රටේ භාරකාරත්වය විධිමත් ප්‍රබුද්ධ හා විදග්ධ නායකයන් අතට පත් නොවීමය. දැන් බොහෝදෙනකු සඳහන් කරන පරිදි පන්සැත්තෑ වසරක් මුළුල්ලේ දිගින් දිගටම එකම වරද කළ ජනතාව හෙවත් පුරවැසියෝ ද එයට වගකිවයුතු වෙති. එහෙත් ඒ වරදින් ජනතාව මුදාගැනීමට සමත් වියත්හු, සිවිල් ක්‍රියාකාරීහු ආගමික නායකයන් මෙන්ම කලාකරුවෝ ද අපට හිඟ වූහ. ඒ බොහෝදෙනකු විසින් සිදුකරන ලද්දේත් ඒ විපතට, අනතුරට ජනතාව ඇදදැමීම නොවේද?. ප්ලේටෝ පැවසූ පරිදිම උගත්, යහපත්, ප්‍රබුද්ධ මිනිසුන් දේශපාලනයෙන් ඈත්වීම ද විපතකි. කුමක් වුවත් දිගු හා වෙහෙසකර ගමනකින් පසු අද සෑහෙන පිරිසක් අලුත් වෙනසක් ගැන ද කතා කරති. ඇත්තටම බ්‍රෙෂ්ට් වරක් ප්‍රකාශ කළේත්, ඔබ අරගල කළ යුත්තේ පාලකයා වෙනස් කිරීමට නොව ජනතාව වෙනස් කිරීමට බව ය. එහෙත් ඒ වෙනස කෙතරම් දුෂ්කර ද?

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment