රට සම්පූර්ණයෙන් විවෘත කළොත් තවත් කොවිඞ් රැල්ලක් ඇති වේවි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා

134

පවතින නිරෝධායන ඇඳිරිනීතිය නාමිකව පමණක් ක‍්‍රියාත්මක වන බව බිම් මට්ටමේ තත්ත්වය විග‍්‍රහ කිරීමේදී පැහැදිලි වන නිසා මෙවන් පසුබිමක් තුළ ඉදිරියේදී රට සම්පූර්ණයෙන් විවෘත කිරීම සිදුකළහොත් නුදුරේදීම නැවතත් මීට වඩා භයානක කොවිඞ් රැුල්ලක් ඇති විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය අවධාරණය කර සිටී. එම සංසදය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතාගේ අත්සනින් යුත් එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කළද, මේ වනවිට බිම් මට්ටමේ සැබෑ ලෙසම සංචරණ සීමා ක‍්‍රියාත්මක වේදැයි ප‍්‍රශ්නයක් පැන නඟී. අප අත්විඳින තත්ත්වය තුළ පොදු ප‍්‍රවාහන සේවා හැර අනෙක් සියලූ ප‍්‍රවාහන සේවා නිදහස්ව ක‍්‍රියාත්මක වන අතර ජනතාවගේ සංචරණයද බොහෝ දුරට නිදහසේ සිදුවේ. එසේම මත්පැන් ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හා සේවා සැපයීම ද බාධාවකින් තොරව සිදුවේ. මෙම තත්ත්වය තුළ ඉදිරියේදී රට සම්පූර්ණයෙන් විවෘත කිරීම සිදුකළ හොත් නුදුරේදීම නැවතත් මීට වඩා භයානක කොවිඞ් රැුල්ලක් ඇති විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ලෙස අප ප‍්‍රකාශ කළ යුතුව ඇත.

දරුවන්ගේ කොවිඞ් එන්නත්කරණය පිළිබඳව දැනට ලෝකයේ ඇති නවීන දැනුම සහ අත්දැකීම් ගැන විවෘත මනසකින් විමසා බලා කටයුතු කිරීම ඉතා වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ලෙස ප‍්‍රකාශ කළ යුතුය. දරුවන් එන්නත් කිරීමේ වැඩසටහනේ ප‍්‍රධාන වගකීම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දැරිය යුතුය.

දැනට සෞඛ්‍ය සේවයේ කොවිඞ් රෝග සත්කාර කරන රෝහල්වල වෛද්‍යවරුන්ට සහ රෝග නිවාරණ අංශයේ කොවිඞ් රෝග මර්දන කාර්යයන්හි සේවයේ නියුතු වෛද්‍යවරුන්ට ලබාදෙන විශේෂ අතිකාල දීමනාවන්ට අදාළ චක‍්‍රලේඛය අගෝස්තු මාසය දක්වා පමණක් වලංගු වේ. නමුත් අප තවමත් කොවිඞ් වසංගතයට දැඩි ලෙස මුහුණ දී සිටින රටක් ලෙස තවදුරටත් වෛද්‍යවරුන් සියලූ අවදානම් තත්ත්ව මැද කොවිඞ් රෝගී සත්කාරය සිදුකරමින් සිටී. එමනිසා වර්තමාන තත්ත්වය සලකා අදාළ විශේෂ චක‍්‍රලේඛය තවදුරටත් දීර්ඝ කිරීම කාලෝචිත බව අපගේ අදහසයි. එමඟින් එම වැඩිකළ අතිකාල දීමනා ඉදිරියටත් ලබාදීම කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ලෙස අවධාරණයෙන් ප‍්‍රකාශ කළ යුතුය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment