රන් මාලයක් කඩාගෙන පැන යද්දී යතුරුපැදිය විදුලි කණුවක ගැටී කොල්ලකරු නසී

794

තරුණියකගේ ගෙල බැඳි රන් මාලයක් කඩාගෙන යතුරුපැදියකින් පලා යමින් සිටි කොල්ලකරුවන් දෙදෙනකු පසුපස පන්නා යමින් සිටියදී මීගමුව ආඬිඅම්බලම ප්‍රදේශයේදී පොලිසිය සිදු කළ වෙඩි තැබීමෙන් එම යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී යතුරුපැදිය පැදවූ පුද්ගලයා මරුමුවට පත්ව තිබේ.

වෙඩි වැදුණු අනෙක් කොල්ලකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ (23 වැනිදා) සවස 2.30 ට පමණ මීගමුව ඔරලෝසු කණුව අසලදී මෙම කොල්ලකරුවන් දෙදෙනා තරුණියකගේ රන් මාලයක් කොල්ලකා පලා යද්දී එය දැක ඇති පොලිස් නිලධාරීන් ඔවුන් පසුපස පන්නා තිබේ.

එහිදී යතුරුපැදියේ සිටි පුද්ගලයන් පොලිසියට වෙඩි තබා ඇති අතර පොලිසිය ප්‍රති ප්‍රහාර එල්ලකිරීමේදී යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක හැපී තිබේ. එහිදී යතුරුපැදිකරු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ කොටදෙනියාව පදිංචිව සිටි 22 හැවිරිදි පුද්ගලයෙකි.

තුවාල ලබා රෝහල්ගත කර සිටින සැකකරු රන්මාල කොල්ලකෑම් කීපයකට සම්බන්ධ බවත්, මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහිවූවකු බවත් හෙළිවී ඇතැයි පොලිසිය කියයි.

මේ පිළිබඳව මීගමුව කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත මීගමුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්,ටෝනි කරුණානායක සහ විමල් කීර්ති – මීගමුව

advertistmentadvertistment
advertistmentadvertistment