රනිල් වාර්තා ගත ඡන්දයකින් නැවත ජනාධිපති වෙනවා – එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

76

ජාතික නායකයෙක් හැටියට රනිල් වික්‍රමසිංහ මහතා ලංකා ඉතිහාසයේ වාර්තාගත ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් නැවත ජනාධිපති ධූරයට පත්වෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

පසුගිය (25)දා ගාල්ල කෝන්ගහ ක්‍රෙසන්ට් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කර තිබූ පාපන්දු තරඟයේ ත්‍යාග ප්‍රදානය සඳහා සහභාගී වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ලබාදෙමින් වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.

නිදහසින් පසුව අවුරුදු 75 ක් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ එක දිගට දේශපාලන පොරොන්දු දීලා රට වැටුණා. ශ්‍රී ලංකාව ලෝකය හමුවේ ඉදිරියට ගෙනියන්න නම් එම තත්ත්වයෙන් ලංකාවේ දේශපාලන පක්ෂ වෙනස් විය යුතුව තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකීය දේශපාලනයේ නව පියවරක් තැබිය යුතුව තිබෙනවා.

රනිල් වාර්තා ගත ඡන්දයකින් නැවත ජනාධිපති වෙනවා - එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

දැන් ඒ නව පියවර තනි පුද්ගලයෙක් හැටියට රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයා තබා තිබෙනවා. අනිත් සියලු‍ දෙනා එය බාර ගන්නේ නැතිව පැනලා ගියා. එය බාරගත්ත නායකයා එම වැඩේ කරන්නේ එතුමාට ඕන විදිහට නෙමෙයි. එතුමා ලෝකය පිළිගත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කරලා, කොහොමද ශ්‍රී ලාංකික ණය ගෙවන්නේ? කොහොමද ණය ගෙවන ගමන් ශ්‍රී ලාංකික මහජනතාව ආරක්ෂා කරන්නේ? ඉතින් මේ ක්‍රියා දාමය හරහා ගත්ත තීරණ කිහිපයකින් එකක් තමයි අස්වැසුම, අනිත් පැත්තෙන් වැටුණු ආර්ථිකයේ ඉන්න මහජනතාවට තව පැත්තකින් අවශ්‍ය සහන. ඒවා ලබාදෙන්නේ ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුකූලව. මේ ජාත්‍යන්තර ගිවිසුම්වලට පිටින් ක්‍රියා කරන්න විදිහයක් නැහැ. නමුත් අපිට පේනවා විවිධ අය සුරංගනා කතා කියමින් නැවත ශ්‍රී ලංකාව බිම දාන්න උත්සාහ කරනවා. එයට ශ්‍රී ලාංකික මහජනතාව හසු නොවිය යුතුයි කියන එකයි මම ප්‍රකාශ කරන්නේ.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධූරය බාරගත්තාට පසුව සමරන්න බැරි වූණු සියලු‍ ජාතික උත්සව සමරන්න ශ්‍රී ලාංකික මහජනයාට හැකි වුණා. දැන් බලන්න මේ ස්ථානයේ ළමයි සෙල්ලම් කරනවා. පහුගිය අවුරුදුවල ළමයිට බෝලයක් ගන්නවත් පුලු‍වන් කමක් තිබුණේ නැහැ. ක්‍රීඩා සමිති එකක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ.

advertistmentadvertistment
advertistmentadvertistment