ප්‍රාණ ඇපකරුවන් නිරුපද්‍රිතව බේරා ගනී

සෝමාලියානුවෝ අත්අඩංගුවේ

සෝමාලියාව කියූ පමණින් මතකයට නැගෙන්නේ මුහුදු කොල්ලකරුවන්ය. නවීන අවි ආයුධ වලින් සන්නද්ධ බිහිසුණු කණ්ඩායම් ලෝකයේම වාණිජමය මත්ස්‍ය කර්මාන්තයට තර්ජනයක් වූයේ අද ඊයේ නොවේ. ඒ දශක කීපයක සිටය.

ගිනි අවි මානගෙන නැව් කොල්ලකා නාවිකයන්, ධීවර කාර්මිකයන් ප්‍රාණ ඇපයට රඳවාගන්නා මේ බිහිසුණු, දරුණු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට අපේ බහුදින ධීවර යාත්‍රාවක් හසුවන්නේ ඉකුත් 27 වැනි දින දහවල් කාලයේය. ඒ ‘ලොරෙන්සෝ පුතා 4’ බහුදින ධීවර යාත්‍රාව සමග ශ්‍රී ලංකික ධීවරයන් හයදෙනකුය. ‘ලොරෙන්සෝ පුතා 4’ දික්ඕවිට වරායෙන් පිටත් වූයේ ජනවාරි දොළොස්වැනි දිනය. ‘ලොරෙන්සෝ 4’ පුතාගේ මංගල ගමන මෙයවීමද විශේෂත්වයකි. යාත්‍රාවේ හිමිකරු මාරවිල තල්විල ප්‍රදේශයේය. ඔහු ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරායි. ඔහු සතු තෙවැනි ධීවර යාත්‍රාව මෙය වේ. ලොරෙන්සෝ පුතා 2 සහ 3 සෙසු යාත්‍රාය. ෆ්‍රැන්සිස් මිල්රෝයි මෙම කර්මාන්තයට එක් වන්නේ මීට වසර විස්සකට පමණ පෙරය. ඒ ‘ලොරෙන්සෝ -1’ ධීවර යාත්‍රාවෙනි. මීට වසර කීපයකට පෙර ඔහු එම යාත්‍රාව විකුණා දැමීමට කටයුතු කළේය. 2023 ආරම්භයේ ‘ලොරෙන්සෝ පුතා 4’ යාත්‍රාව නිෂ්පාදනය කිරීමට ඔහු බාර දෙන්නේ මීගමුව ප්‍රදේශයේ යාත්‍රා නිෂ්පාදනය කරන ආයතනයකටය. අඩි 50 ක් දිග අඩි පළල අඩි 16 ක් වූ කෝටි හතකට මිලදී ගත් යාත්‍රාවේ මංගල ගමන දියත් කරන්නේ මාස තුනකට පමණ අවශ්‍ය කෑම බීම ද රැගෙන ආගමික වතාවක් සිදුකිරීමෙන් අනතුරුවයි. ඒ ජනවාරි 12 වැනි දින උදෑසන හයට පමණය.

මෙම යාත්‍රාවේ නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ දකුණු තොඩුවාවේ පදිංචි 32 හැවිරිදි රඛිත දුශාන් වන අතර සෙසු ධීවරයන් කල්පිටිය හා කුඩාමඩුවැල්ල පදිංචි කරුවන්ය.

ෆ්‍රැන්සිස් මිල්රෝයිගේ ලොරෙන්සෝ පුතා 2 සහ 3 යාත්‍රා ද ඊට පෙර ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබිණි.

‘ලොරෙන්සෝ පුතා 4’ ගේ අවාසනාවන්ත ඉරණම

" ලොරෙන්සෝ පුතා 4" සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් මුදාගත් මෙහෙයුම

‘ලොරෙන්සෝ පුතා 4’ ධීවර කාර්මිකයන් හය දෙනා ඉමක් නොපෙනෙනා මහ සයුර තරණය කරමින් ජාත්‍යන්තර මුහුදට පැමිණ මසුන් ඇල්ලීමේ නිරත වෙමින් සිටියහ. ඒ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 1160 ක් පමණ ඔබ්බෙන් වූ අරාබි මුහුදු තීරයේය. යාත්‍රාවල හිමිකරු නිරන්තරයෙන් සිය ධීවර යාත්‍රාවල තොරතුරු විමසීමට කටයුතු කරයි. මේ අතරතුර 27 වැනි දින උදෑසන 10.30 ට පමණ යාත්‍රාවේ තොරතුරු විමසා නිවසට පැමිණ ඔහු දහවල් ආහාරය ගෙන නිවසේ රැඳී සිටියදී සවස 3.30 ට පමණ තොරතුරක් ලැබෙන්නේ වෙනත් ධීවර යාත්‍රාවකින් පැමිණි පිරිසක් ‘ලොරෙන්සෝ පුතා 4’ බලහත්කාරයෙන් රැගෙන යන බවටය. ඉන් අනතුරුව ඔහු වහා ක්‍රියාත්මක විය. මුලින්ම ධීවර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඇමතුමක් ලබා දීමට කටයුතු කළේය. පසුව පාර්ශ්ව ගණනාවක් මැදිහත් වී යාත්‍රාව මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පටන් ගැනිණි. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අරාබි මුහුදු ප්‍රදේශයේ මුහුදු කොල්ලකරුවන් මැඬපැවැත්වීමේ මෙහෙයුම් සිදුකරනු ලබන ඒකාබද්ධ සමුද්‍රීය බළකාය සහ කලාපීය නාවික හමුදා වෙතින් මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් ධීවර යාත්‍රාව මුදා ගැනීම සඳහා සහාය ලබාදෙන ලෙස දැනුවත් කළේය.

27 වැනි දින දහවල් පැහැර ගැනීමට ලක්වූ ඉරානයට අයත් අඩි හැටක් පමණ දිග යාත්‍රාවකින් පැමිණි තිදෙනකු මේ කොල්ලය සිදු කර ඇති බව අනාවරණය කරගෙන තිබේ. මෙදින ඉරාන යාත්‍රාව ලොරෙන්සෝ පුතා 4 වෙත කිට්ටු කරද්දී එහි සිටි ධීවරයන් සිතා ඇත්තේ මොවුන් ඉරාන ධීවරයන් බවය.

පසුව යාත්‍රාවට නැග එම කොල්ලකරුවන් අහසට වෙඩි තබා සිදු කළ තර්ජන හමුවේ ඔවුන් සෝමාලියානු ජාතිකයන් තිදෙනකු බව ලොරෙන්සෝ පුතා ධීවර යාත්‍රාවේ ධීවරයන්ට අවබෝධ විය.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන නියමුවා තම අනෙක් යාත්‍රාවට දැනුම් දී ඇත්තේ තමන් ඉරාන යාත්‍රාවකින් පැමිණි සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට අසුව ඇති බවය. මේ නිවේදනය දැනුම් දෙනවාත් සමග වහා ක්‍රියාත්මක වූ මුහුදු කොල්ලකරුවන් යාත්‍රාවේ සියලු පාලන කටයුතු සියතට ගෙන තිබේ. ඊට පෙර නියමුවාට බෝට්ටුවේ රතු බොත්තම දැල්වීමට හැකිව ඇති අතර ඒ අනුව ‘ලොරෙන්සෝ 4’ බහුදින යාත්‍රාවට අනතුරක් සිදුව ඇති බවට ජාත්‍යන්තර මුහුදේ ගමන් කරන නැව් හා ශ්‍රී ලංකාවේ යාත්‍රාවලට හා ධීවර දෙපාර්තුමේන්තුවේ මෙහෙයුම් පද්ධතියට දැනගන්නට ලැබිණි. කෙසේ වෙතත් පසුව යාත්‍රාවේ වී. එම්. එස්. (වෙසල් මොනිටර් සිස්ටම්) පද්ධතිය අක්‍රීය වී ඇති අතර ඒ හේතුවෙන් යාත්‍රාව ගමන් කරන දිශාව හඳුනාගැනීමට නොහැකිවිය.

මෙහෙයුම සාර්ථක වී……

" ලොරෙන්සෝ පුතා 4" සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් මුදාගත් මෙහෙයුම

ලොරෙන්සෝ 4 බහුදින යාත්‍රාව කොල්ලකරුවන් අතට පත්වන්නේ සෝමාලියාවේ මොගඩිෂූ වෙරළට නාවුක සැතපුම් 500 ක් දුරිනි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා රජය සෝමාලියානු නාවික හමුදාව, ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති සේවයේ නිලධාරීන්, කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සාකච්ඡා කරමින් සෝමාලියාවේ නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් අබ්දිවර්සමේ ඔස්මාන් මහතා දැනුවත් කර පැහැර ගැණුන ශ්‍රී ලංකා ධීවරයන් කඩිනමින් මුදා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ අතර පැහැරගත් ශ්‍රී ලාංකික ධීවරයන් මුදා ගැනීමට සහාය දෙන්නැයි තවත් මෙරට තානාපතිවරුන් රැසක් අප්‍රිකානු කලාපයේ ශ්‍රී ලංකා තානාපතිවරුන්, සෝමාලියානු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර, සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ගත් බහු දින ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන්නැයි බහරේනයේ පිහිටි ඒකාබද්ධ සමුද්‍රීය බළකායට දැනුම්දීමට කටයුතු කර තිබේ. රටවල් 39 ක් සාමාජිකත්වය දරන බහරේනයේ ඒකාබද්ධ සමුද්‍රීය බළකාය, නාවික යාත්‍රාවල ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයකි.

අනතුරුව ඉන්දීය නාවුක හමුදාව සිය මුර යාත්‍රාව වන ins sharadha යොදවා පැහැරගත් යාත්‍රාව සොයා ගැනීම සඳහා sea guardian ඩ්‍රෝනා යානා යැවීමටද කටයුතු කෙරිණි.

එමෙන්ම සීෂෙල්ස් රාජ්‍යයේ විශේෂිත ගුවන් යානා දෙකක් සහ ටොපෑස් නමැති නෞකාව ආධාරයෙන් විශේෂ මෙහෙයුම්වලින් සීෂෙල්ස් රාජ්‍යයේ අනන්‍ය ආර්ථික කලාපයේ තිබී සැක කටයුතු යාත්‍රාවක් පිළිබඳව නිරීක්ෂණය වී ඇත. ඒ අනුව දිගින් දිගටම සිදුකළ නිරීක්ෂණවලදී එම යාත්‍රාවේ අවිගත් පුද්ගලයන් සිටින බවට තහවුරු විය. මෙහිදී සීෂෙල්ස් රාජ්‍යයේ උතුරු දෙසට රැගෙන යමින් තිබූ යාත්‍රාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී සීෂෙල්ස් රාජ්‍යයේ වෙරළාරක්ෂක බළකාය නාවික හමුදාව පැහැර ගත් ධීවරයන් බේරාගෙන සෝමාලියානු කොල්ලකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. පැහැර ගැනීමට ලක්වූ ධීවරයන් හයදෙනා යහපත් සෞඛ්‍ය හා යහපත් මානසික මට්ටමකින් පසුවන බවත් සීෂෙල්ස් රාජ්‍යයේ රැඳී සිටින ධීවරයන් හා ධීවර යාත්‍රාව මෙරටට රැගෙන ඒමට නියමිත බව නාවුක හමුදාව පැවසීය.

සීෂෙල්ස් රාජ්‍යයේ වෙරළ ආරක්ෂක බළකාය කියන කථා

සීෂෙල්ස් රාජ්‍යයේ වෙරළ ආරක්ෂක බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ මේජර් හාන්ස් රඩෙගොන්ඩේ මහතා මාධ්‍යවේදීන් හමුවේ පවසා සිටියේ පසුගිය වසරේ අගභාගයේ සිට මුහුදු කොල්ලකෑම් වැඩි වී ඇති බවයි. මීට ප්‍රධාන හේතුව ඊශ්‍රායල් හමාස් යුද්ධය බව පෙන්වා දෙන හාන්ස් මහතා එම කලාපය තුළ දැඩි අවධානයෙන් සිටිමින් නිරන්තර මෙහෙයුම් සිදුකරන බව පැවසීය. එමෙන්ම සෙනසුරාදා දින සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා නාවුක හමුදාවෙන් තමන්ට ආරංචිය ලැබූ බවත් සීෂෙල් සුවිශේෂි ආර්ථික කලාපයට යාත්‍රාව ඇතුළු වීමෙන් පසු සෝමාලියානු කොල්ලකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික ධීවරයෙන් හය දෙනා නිරුපද්‍රිතව මුදාගැනීමට හැකි වූ බව ද වැඩිදුරටත් ඔහු පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධව අදහස් දක්වන ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාවේ හිමිකරු වන ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා……

“ප්‍රථමයෙන් ශ්‍රී ලංකා රජයට හා සීෂෙල්ස් රජයට ස්තූතිවන්ත වෙනවා. ලොකු සටනක් කරලා තමයි අපේ ධීවරයන්වයි යාත්‍රාවයි බේරා ගෙන තියෙන්නේ. වෙඩි හුවමාරුවක් පවා සිදුවෙලා තිබෙනවා. අපිට දැනගන්නට තියෙන විදිහට මුහුදු කොල්ලකරුවන් මේ යාත්‍රාව කොල්ල කාලා තියෙන්නේ අප්‍රිකාවට විකුණන්න. එහෙම වුණා නම් අපේ ධීවරයන්ට මොකද වෙන්නේ. මගේ බෝට්ටුව කොල්ල කද්දී ඉරාන යාත්‍රාවට අමතරව තවත් ඩිංගි බෝට්ටුවක් තිබිලා තියෙනවා. ඒ බෝට්ටුවේ ඉරාන ජාතිකයන් හා සෝමාලියානු ජාතිකයන් කීප දෙනෙක්ම ඉඳලා තියෙනවා. පස්සේ ඔවුන් මගේ යාත්‍රාවේ තිබුණු ආහාර බාගයක්ම ඒ බෝට්ටුවට දීලා තියනවා. අපේ ධීවරයෝ ජනවාරි 30 වැනිදා උදේ පැයක් විතර මාත් එක්ක කතා කළා. ඒ අය හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයකින් පසු වෙනවා. මුල්ම අවස්ථාවේ අපේ ස්කීපර් ට පහර දීමක් කරලා තියනවා. නමුත් පසුව උයාගෙන කන්න දීලා තිබෙනවා. මගේ යාත්‍රාව සීෂෙල්ස් රටට මේ වන විට ගෙනිහින් තියෙනවා ගොඩක් සතුටුයි. කාටවත් කරදරයක් නැතුව මේ ආකාරයට බේරා ගැනීමට හැකි වීම ගැන. ලංකා රජයේ මැදිහත්වීම, නාවික හමුදාවේ ධීවර අමාත්‍යාංශයේ සියලු ආයතන වල මේ කාර්ය භාරය මා ඉතා අගය කරනවා.

ධීවර නියෝජනයේ ප්‍රණාමය

" ලොරෙන්සෝ පුතා 4" සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් මුදාගත් මෙහෙයුම

සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු……

මෙවැනි අත්දැකීමක් ලැබුණු පළමු අවස්ථාව මෙය. ධීවර දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා නාවික හමුදාව මේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම එක් දිනක් ප්‍රමාද කළේ නම් මේ යාත්‍රාව මුහුදු කොල්ලකරුවන්ගෙන් බේරා ගැනීමට නොහැකි වෙන්න තිබුණා. මේ සිදුවීම සැලවුණු වහාම මම ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළා. ඒ වගේම ධීවර අමාත්‍යවරයා, රාජ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරිය, ධීවර දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි මධ්‍යස්ථානවල කටයුතු කළ සියලුම නිලධාරීන්, ධීවර දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික හමුදාව, විදේශ කටයුතු අමාත්‍යාංශය, තානාපතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට, එමෙන්ම සීෂෙල්ස් වෙරළ ආරක්ෂක බළකායට විශේෂයෙන් දේශීය සහ විදේශීය මාධ්‍යවේදීන්ට ආයතනවලට අපේ ගෞරවය ස්තුතිය පුද කරනවා.

වෙන්නප්පුව බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති නිමල් රන්ජන්

“ඇත්තෙන්ම අපිට හරිම සතුටුයි. ධීවර යාත්‍රාවේ අය නිරුපද්‍රිතව කිසිදු කරදරයක් නැතිව බේරාගැනීමට හැකිවීම ගැන. ක්ෂණිකව ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා රජය නාවික හමුදාව, ධීවර අමාත්‍යාංශය ඇතුළු ආයතනවලට අපේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ සීමාවේ අපේ යාත්‍රා පන්සියයකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. මේ සියල්ල අනාරක්ෂිතයි. මේ නිසා ශ්‍රී ලංකා රජයෙන් හා ධීවර දෙපාර්තුමේන්තුවෙන් මේ සඳහා වැඩපිළිවෙළක් අවශ්‍යයි.

දැන් සීෂෙල්ස් වෙරළාරක්ෂක කඳවුරේ ‘ලොරෙන්සෝ පුතා 4’ නැංගුරම්ලාය. සෝමාලියානු කොල්ලකරුවන් තිදෙනා පොලිස් භාරයේය. මෙම අවස්ථාවට පැමිණ සීෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් ශ්‍රීමල් වික්‍රමසිංහ මහතා වෙරළාරක්ෂක බළකායේ සිදුකළ සාර්ථක මෙහෙයුමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිය ප්‍රණාමය පුද කළේය.

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ බිහිසුණු ත්‍රාසජනක සිදුවීම් අසන්නට ලැබුණු අපේ ධීවර ජනතාවට එය යථාර්ථයක් වෙමින් ඒ බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වුණා. තිගැස්මෙන් සෝසුසුම් හෙලමින් සිටි සියල්ලන්ටම පාර්ශ්ව ගණනාවක මැදිහත්වීම, කැපවීම මත සැනසුම් සුසුම් වාතලයට මුසු කිරීමට දින දෙකක් වැනි කෙටි කාලයකදී වාසනාව ළඟා කර දුන්නා.

සක්‍රීයව බහුදින යාත්‍රා දෙදහසකට අධික සංඛ්‍යාවක් ජාත්‍යන්තර මුහුදේ රැකියාවේ යෙදෙන අතර ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීමට රජයේ දැඩි අවධානය යොමු කළ යුතුයි බව ‘ලොරෙන්සෝ පුතා 4’ පණිවිඩයක් දී තිබේ.

අමරනන්ද විජේසේකර –
මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment