ලෝකයේ සෑම ක්‍ෂේත්‍රයකින්ම ශ්‍රී ලංකාව අංක එක කිරීමට එක්වන්න – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

119

ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කර ගැනීම අතිවිශාල ජයග්‍රහණයක් – පා. ම. මහාචාර්ය ජී. එල්. පීරිස්
රටේ තිබෙන ප්‍රශ්නයට පොදු උත්තරයක් අවශ්‍යයි – පා. ම. අතුරලියේ රතන හිමි
මහ බැංකු පනත සම්මත විය යුත්තේ විකල්ප යෝජනා 46ට යටත්වයි – පා. ම. ගෙවිඳු කුමාරතුංග

විපක්ෂය සමග ඇති කර ගනු ලැබන ප්‍රගතිශීලී සංවාදයක් තුළින් රටට අගයක් එකතු කොට ලොව සෑම ක්ෂේත්‍රයකින්ම අංක එක ශ්‍රී ලංකාව බවට පත් කර ගැනීමට එකතු වෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (03 දා) පුවත්පත් කර්තෘවරුන්, මාධ්‍ය නාළිකා ප්‍රධානීන් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු පක්ෂ නායකයන් සහ නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය නාළිකා ප්‍රධානීන් පුවත්පත් කර්තෘවරුන් සමග හමුවක් ඊයේ පෙරවරුවේ කොළඹ මැන්ඩරීන් හෝටලයේ දී පැවැත්විණි.

ආණ්ඩුවට එරෙහිව දැවැන්ත බලවේගයක් ලෙස එක්ව කටයුතු කිරීම උදෙසා විපක්ෂයේ කණ්ඩායම් රැසක් මීට පෙර ආරම්භ කරනු ලැබූ වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මෙම හමුව පැවැත්විණි.

ආණ්ඩු ක්‍රියාමාර්ගවලට එරෙහිව විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකට එක්වී පොදු වැඩපිළිවෙළක් සැකසීම සඳහා සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් රැසක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී එකඟතාවක් ද ඇති කර ගනු ලැබීය.

ඒ අනුව ඊයේ පැවැති මාධ්‍ය ප්‍රධානීන් සහ පුවත්පත් කතුවරුන් අතර හමුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ කීය.

අද ජාත්‍යන්තර මාධ්‍ය දිනය යෙදී තිබෙනවා. එවන් සුවිශේෂි ඓතිහාසික දිනයක අපි සතුටු වෙනවා විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ ගණනාවක් ඔබත් සමඟ යම් කිසි සමාජමය, ආර්ථිකමය, දේශපාලනමය සංවාදයක් කතිකාවතක් ආරම්භ කරන්න. විශේෂයෙන්ම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානම පුරුක් 3 වන විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණයට එකතු වන 4 වැනි ප්‍රධාන කුළුණ තමයි නිදහස් මාධ්‍යය.

විශේෂයෙන්ම විවිධ දේශපාලන පක්ෂවලට ඒ ඒ පක්ෂවලට අන්‍යොන්‍යය සහ අනන්‍ය වූ චින්තන තිබෙනවා. න්‍යාය තිබෙනවා. නමුත් ජාතික වශයෙන් වැදගත් වන හුදු කාරණා

ගණනාවක දී අපට එකතු වීමේ අවස්ථාව අද ඇති වෙලා තිබෙනවා. උදාහරණයක් ලෙස මාධ්‍ය පාලනය උදෙසා අද රජය පිඹුරු පත් සකස් කරන විකාශන අධිකාරී පනත දැක්විය හැකියි. ඒ හරහා නිදහස් මාධ්‍යයට එල්ලවන මරු පහර ගැන එයට විරුද්ධ වීම ගැන අපේ පොදු මතයක්, අදහසක් අප සතුව තිබෙනවා. ඒ වගේම වර්තමාන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව ත්‍රස්ත විරෝධි පනතක් නිර්මාණය කරමින් දේශපාලනික හේතුන් මත තම තමන්ට රිසි සේ තමන් හිතන පතන ඕනෑම කෙනෙක් ලක්ෂ 220ක් වූ ජන පරපුර අතුරින් ත්‍රස්තවාදීන් හැටියට අර්ථකථනය කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධි නිහීන අණ පනතට විරුද්ධ වීම ගැනත් අපේ පොදු අවබෝධයක් තිබෙනවා.

ඒ වගේම මෑත කාලයේ මේ රටේ සිදුවූ දැවැන්තම පරිසර හානිය වන එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය තුළත් බංකොලොත් වූ රටක ඒ මහා ව්‍යවසනයෙනුත් මුදල්ගසා කෑමේ උත්සාහය ව්‍යාර්ථ කරන්න ඒ ආණ්ඩුවේ ඉතාමත්ම ප්‍රතිගාමී වැඩපිළිවෙළ වළක්වන්න විපක්ෂයේ අපි එකට එකතු වෙලා තිබෙනවා. මේ කිහිපයක් විතරයි. පොදු කටයුතු කරුණු කාරණා ගණනාවක දී අපිට එක තැනකට එන්න ලැබී තිබෙනවා.

අද මේ අවස්ථාව විපක්ෂයේ විවිධ දේශපාලන පක්ෂවලින් ලැබුණු යෝජනාවක් ලෙස ඔබ සියලු දෙනා සමග ධනාත්මක හරාත්මක ගුණාත්මක රටට අගයක් එකතුවන ප්‍රගතිශීලී සංවාදයක නියැලෙන්න. මේ ඇති කර ගන්නා ප්‍රගතිශීලී සංවාදය තුළින් රටට අගයක් එකතු වී ලෝකයේ හැම ක්ෂේත්‍රයකින් ම අංක 1 රට බවට ප්‍රතිනිර්මාණය වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා

මෙහිදී අදහස් පාර්ලිමේන්තු මන්ත්‍රී මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා :

විපක්ෂයේ සිටින පක්ෂ අතරේ සුළු ජන කොටස් නියෝජනය කරන පක්ෂ අතර ත්‍රස්ත විරෝධි පනත ගැන අපේ දැඩි ස්ථාවරයක් තිබෙනවා. මේ ගැන විපක්ෂ නායකතුමා එක්කත් කතා කළා. අපේ ස්ථාවරය නම් ත්‍රස්තවාදය තුරන් කිරීම කියන මාතෘකාව මුල් කර ගෙන රාජ්‍ය නොව රජය ආරක්ෂා කිරීම සඳහා විවිධ උපක්‍රම පවතින ත්‍රස්ත විරෝධී පනත හරහා බැරි දේ පුළුල් කරන්න උත්සාහ කරනවා. අපි නම් කියා සිටින්නේ අවශ්‍ය වෙලාවට යම් අභියෝගයක් තිබේ නම් ඒ පිළිබඳ හදිසි නීතිය ප්‍රකාශයට පත් කරලා ඕනෑම පියවරක් ගත හැකියි. එවැනි අවස්ථාවක් තිබිය දී විශේෂ පනතක් හරහා අපේ අපරාධ නීති පද්ධතියම විනාශ වෙනවා. එබැවින් අපි ඉල්ලා සිටින්නේ දණ්ඩ නීති සංග්‍රහය අපරාධ නීති විධිවිධාන පනත හා සාක්ෂි ආඥ පනත වැනි පනත් හරහා මේවා පාලනය කරන්න පුලුවන් කියලයි අපේ ස්ථාවරය. මේ ගැන අන්තරය ඇතුළු අනෙකුත් සිවිල් සංවිධාන වෙනමම වේදිකාවක් සාදා ගෙන විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. ඒ ප්‍රකාශ සමග අපි සම්පූර්ණයෙන්ම පක්ෂයි. මේක විශාල අභියෝගයක්. රටක් ලෙස අපරාධ නීති පද්ධතිය විනාශ වෙනවා. ජනතාව මර්දනය කිරීම, සිවිල් සංවිධානවල ක්‍රියාකාරකම් හා මාධ්‍ය ආයතන තහනම් කරන්නත් තිබෙනවා. මේ ප්‍රති ත්‍රස්ත පනතට විරුද්ධ වීම අපේ ස්ථාවරයයි.

ඒ වගේම මැතිවරණ සිතියම හකුලාගෙන තිබෙනවා. ඒ එක්කම මේකට සමාන්තරව තිබෙන තවත දෙයක් තමයි සීමා නිර්ණය කොමිසමක්දා ගෙන දඟලනවා. ඒ යටතේ පළාත් පාලන ක්‍රමය තුළ ඇති කළ ව්‍යාකුලත්වය තවත් ව්‍යාකුල කරනවා. ඒක සුළු ජන කොටස්වලට අවදානමක්. මේක ගැන අපි කිව්වත් තාම විසඳුමක් නෑ. සීමා නිර්ණය කොමිසමේ සභාපතිට දුන් බලතල ගැනත් ප්‍රශ්න තිබෙනවා. මේක දීර්ඝ කාලින ගැටලුවක් ලෙස අපි දකිනවා. අපේ නියෝජනය අඩු වීමේ විශාල ගැටලුවක් මේක. අපි ඉල්ලා සිටින්නේ අවම වශයෙන් පළාත් සභා හෝ තියන්න. පොහොට්ටු අය පවා පක්ෂයි මේකට. ඒත් ආණ්ඩුව විවිධ උප්පරවැට්ටි යොදා ගන්නවා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. ඇල්. පීරිස් මහතා:

ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමේ දී මාධ්‍යවේදීන් අතිශය වැදගත්. විපක්ෂ නායකතුමා කිව්වේ මෙය 4 වැනි කුළුණ කියා. පසුගිය මාස කිහිපයේ රටේ සිදු වූ දේවල් ගැන බලද්දී ඔබලාගේ සහයෝගය නැතිව මේ ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කර ගන්න පුළුවන් කමක් නැහැ.

ගිය සතියේ අධිකරණ ඇමතිතුමා කිව්වේ දැනට ගේන්නේ නෑ කියලා. ඒ කියන්නේ දින නියමයක් නොමැතිව ඉවත්කර ගෙන. මෙය අතිවිශාල ජයග්‍රහණයක්. ඒ සඳහා මාධයවේදීන් කළ උදාර වැඩ කොටස නොතිබුණා නම් මේ ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වන විට එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කතා වෙනවා. මේක මහාපරිමාණ වංචාවක්. මහබැංකුව කැඩීමට සමාන වංචාවක්. මම තරයේ විශ්වාස කරනවා මේ ගැන යම් යම් ප්‍රශ්න නගා ඒවා සමාජයට ඉදිරිපත් කළ යුතුයි. ඒ තුළින් ප්‍රබල ශක්තිමත් මහජන මතයක් ගොඩ නැගෙනවා. ඩොලර් බිලියන 6.4ක් ලැබෙනවා. අයිඑම්එෆ් එකෙන් ලැබෙනවා වගේ දෙගුණයක්. ඒක ණයක් නොවේ ජනතාවට අයිති දෙයක්.

මාස 24ක කාලාවරෝදයක් තිබුනත් මාස 23ක් යනකම් නඩු පැවරුවේ නෑ.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා :

මහ බැංකු පනත ගැනත් අවධානය යොමු විය යුතුයි. විවාදයට වෙන් කර තිබෙන්නේ එක දවසයි. අධිකරණය විසින් මූලික වගන්ති 46කටම විකල්ප යෝජනා කළා. එම විකල්ප යෝජනාවලට යටත්වයි මෙය සම්මත විය යුත්තේ. කතානායකවරයා පවා මෙය ප්‍රකාශයට පත් කළේ එහි අදහස විකෘතිවන ලෙස. මන්ත්‍රීවරු මේ ගැන විරෝධය පළ කළාට පසු නැවත කියවන්න වුණා. කතානායකටත් මෙය කියවද්දී වරදිනවා නම් එය අත්වැරදීමක් ද රට නොමග යැවීමක් ද කියා සැකයක් මතු වෙනවා. මීට පෙර අධිකරණ තීන්දු ප්‍රකාශයට පත් කරද්දී එය අපේ මේස මත තිබුනත් මෙය තිබුණේ නැහැ. ඒ ගැන ඇහුවම කිව්වේ එය හැන්සාඩ් ගත කරනවා කියලා. අවශ්‍ය නම් පුස්තකාලයෙන් ගන්න කියලා. ඒත් හැන්සාඩ් වාර්තාවේ තිබෙන අක්ෂර ප්‍රමාණයට වඩා අති කුඩා අකුරුවලින් කියනවන්න බැරි ලෙස මුද්‍රණය කරලා. මේ යන විදිහට දැවැන්ත සැකයක් මතු වෙනවා. අධිකරණයේ නියෝග නොතකා මුල් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්මත කර ගැනීමේ උත්සාහයක නිරත වෙනවා. අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා ජනතාව දැනුවත් කරන්න. රජයට බලපෑම් කරන්න. රටේ මූල්‍ය පරිපාලනය මීට අදාලයි. දෝෂ තිබෙන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගෙන නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන්න කියනවා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි :

රටේ වෙන්න යන දේ ගැන මාධ්‍යවේදීන්ට අදහසක් තිබෙනවා. මේ අතර ප්‍රතිත්‍රස්ත පනත සහ මහ බැංකු පනත් 2 ගෙනත් තිබෙනවා. මේ සම්බන්ධ පුළුල් සංවාදයක් ඕන. අද ලෝකයේ දක්ෂිණාංශික සහ වාමාංශික කියලා බෙදීමක් නැහැ. මේ අවස්ථාවේ මේ තිබෙන අර්බුදයට විසඳුමක් සෙවිය යුතු වෙලාවේ ප්‍රති ත්‍රස්ත පනත ඉදිරිපත් කරන්නේ ඇයි කියලා ගැටලුවක් තිබෙනවා. අයිඑම්එෆ් එකට ඒක ගැටලුවක් නොවුණත් ඒ ප්‍රතිපත්ති දිහා බැලුවට අපිට වඩා ලෝකයට හිතකර ඒවා. ඒ නිසා රටේ තිබෙන ප්‍රශ්නයට පොදු උත්තරයක් අවශ්‍යයි.

advertistmentadvertistment
advertistmentadvertistment