සිත් සනසාලන මැටි පහන පසුපස දුක් විඳි න මිනිසුන්ගේ අන්දරය

261

වෙසක් පොහොය ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කළ මැටි පහන් සඳහා මේ වනතෙක් නිසි ඉල්ලුමක් ලැබී නොමැති බවත් නිෂ්පාදනය කළ මැටි පහන් විකුණා ගැනීමට නොහැකි වුවහොත් තමන් අන්ත අසරණ වන බැව් වැලිමඩ මැටි පහන් නිෂ්පාදකයෝ පවසති.

පසුගිය වර්ෂයේ මේ කාලය වනවිට පන්සල්වලින්, සමිති සමාගම්වලින් සහ කඩවලින් මැටි පහන්වලට විශාල ඇණවුම් ලැබී තිබූ බවත් මේ වර්ෂයේ කිසිම ඇණවුමක් ලැබී නැති බවත් ඔවුහු පවසති.

මැටි පහන් නිෂ්පාදකයෙක් වන ශිවරාජ් මහතා පැවසුවේ,

“අපි පාරම්පරිකව මැටි භාණ්ඩ නිෂ්පාදනය තමයි කරන්නේ. වෙසක්, පොසොන්, ඇසළ පෝය කාලවල මැටි පහන් අලෙවිය වැඩියි. සිංහල අලුත් අවුරුදු කාලයට මැටි වළං අලෙවිය වැඩියි. එහෙත් පසුගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ අපේ නිෂ්පාදනවලට ලොකු ඉල්ලුමක් නෑ.

අපි ඉතිං මේ පහන් හදාගෙන බලාගෙන ඉන්නවා වෙසක් පොහොයටවත් අපේ ජීවිත ආලෝකමත් වෙයි කියලා. පහන් හදන්න මැටි ගේන්නේ වැල්ලවායෙන්. එක පස් ලෝඩ් එකක් ගේන්න අපිට රුපියල් පනස් දාහක් විතර යනවා. පස්වලට බලපත්‍ර ගන්න ඕනි. මේ බලපත්‍ර ලබා ගැනීම අපිට හරි කරදරයක්. මේකට සහනයක් දෙනවා නම් ඒක අපිට ලොකු දෙයක්. දරවල මිලත් දැන් වැඩියි. ඒ නිසා අපිට දැන් මේ නිෂ්පාදන සඳහා ලොකු මූලික වියදමක් දරන්න වෙලා. හදලා තියෙන මැටි පහන් ටික විකුණගන්න බැරි වුණොත් අපි ගොඩක් අසරණයි” යැයිද ශිවරාජ් මහතා වැඩිදුරටත් පැවසීය.

මැටි පහන් නිෂ්පාදිකාවක් වන ශෂිකා උදයමාලි මහත්මිය:

“අපි ඉන්නේ වැලිමඩ දඹවින්නේ. දඹවින්නේ පවුල් හයක් විතර මේ මැටි ආශ්‍රිත නිෂ්පාදන කරනවා. මේ සැරේ මේ හදපු පහන් විකුණගන්න බැරි වුණොත් අපිට වෙන්නේ කබලෙන් ළිපට වැටෙන්න. අපි පහනක් දෙන්නෙ රුපියල් පහකට. ඒ ගානටවත් ගන්න එන්නේ නෑ. යන වියදමත් එක්ක ඒ ගානට අඩුවෙන් දෙන්න බෑ. වෙසක් පොහොයට පුද බිම්වල පහනක් දල්වා අපේ ජීවිතත් ආලෝකමත් කරන්න කියා ඉල්ලනවා”
බොරලන්ද – සමන්ත කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment