ලෝක ජෛව විවිධත්ව දිනය දා වඳවී යන තඹලයා බේරාගැනීමේ වැඩසටහනක්

335

මැයි මස 22 වන දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය වෙනුවෙන්, වඳවී යෑමට ආසන්න ලංකාවට ආවේනික, අතිශයින්ම දුර්ලභ, දැනට වියළි කලාපයේ මල්වතුඔය සහ තදාසන්න ප්‍රදේශවලට පමණක් සීමා වූ, මිරිදිය මත්ස්‍යයකු වන තඹලයා/තඹලවැන්නා හෙවත් ගල්කටුවා මත්ස්‍යාගාර තුළ අභිජනනය කර පැටවුන් ඔවුන්ගේ ස්වාභාවික පරිසරයට මුදාහැරීමේ ක්‍රියාවලියක් සංවිධානය කර ඇත.

ලංකාවේ මිරිදිය මසුන් අතරින් සුවිශේෂ වූ මත්ස්‍ය විශේෂයක් ලෙස තඹලයා/තඹලවැන්නා හෙවත් ගල්කටුවා හඳුන්වා දිය හැක. දැනට, ශාක සහ සත්ව ආරක්ෂණ පනත මගින් (FFPO) ආරක්ෂිත මත්ස්‍යයකු ලෙස නම්කර ඇති, අතීතයේ ලංකාවේ බොහෝ ප්‍රදේශවල විශාල වශයෙන් ව්‍යාප්ත වී සිටි, එහෙත් විද්‍යාත්මක ගවේෂණයකට අනුව 1990 දශකය වනවිට ලංකාවෙන් වඳවී ගියා යැයි සැලකෙන තරමට ස්වාභාවික ගහනය විශාල ලස අඩු වූ මත්ස්‍යයෙකි. දළ වශයෙන් සෙ. මී. 30 පමණ දිගකට සහ කි. ග්‍රෑ. 1ක් පමණ ප්‍රමාණයක උපරිම වර්ධනයක් සහිත මෙම මත්ස්‍යයා ගලා යන ජලයෙහි සහ ජලාශවල පතුලෙහි ඇති දිය සෙවල සූරා කමින් ජීවත් වේ. වැඩුණු සතෙකු දීප්තිමත් තඹ පැහැයට හුරු වර්ණයක් ගන්නා නිසා තඹලයා හෙවත් තඹලවැන්නා යන නමද, ගල්පර ආදිය සූරා කන නිසා ගල්කටුවා යන නමද පටබැඳී ඇත. අතීතයේදී මොවුන් වියළි කලාපයේ මත්ස්‍ය අස්වැන්නෙන් සැලකිය යුතු ප්‍රමාණයකට දායකත්වයක් දක්වා ඇති සුලභ ආහාරයට ගන්නා මත්ස්‍යයෙකි. නමුත් වර්තමානයෙහි ඔවුන්ගේ ගහනය ඉතා කුඩා අගයක් බව විද්‍යාඥයන්ගේ මතයයි.

මුළු ලෝකයෙන්ම, මල්වතු ඔය සහ තදාසන්න ද්‍රෝණි තුළ පමණක් වෙසෙන මෙම මත්ස්‍යයා වඳවී යෑමෙන් බේරා ගැනීම සඳහා සිදු කරන ක්‍රියාවලියක පළමු පියවර ලෙස, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය සහ ජාතික ජල ජීවී වගා සංවර්ධන ආයතනය මූලිකත්වයෙන් සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයකින් තඹලයා මත්ස්‍යාගාර තුළ සාර්ථකව අභිජනනය කරන ලදී. එයින් ලබා ගන්න ලද පළමු පැටවුන් අතුරෙන් වැඩුණු ඇඟිල්ලන් සහ ආසන්න මවු සතුන් 30,000 පමණ ඔවුන්ගේ ස්වාභාවික පරිසර පද්ධතිය තුළට මුදාහැරීම සංකේතවත් කිරීම සඳහා ලෝක ජෛව විවිධත්ව දිනය යෙදෙන මැයි මස 22 වැනිදා, පරිසර අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, පරිසර ලේකම්තුමා, සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා, ජාතික ජල ජීවී වගා සංවර්ධන ආයතන අධ්‍යක්ෂ ජනරාල්තුමිය, සොබාදහම සංරක්ෂණය සඳහා වූ අන්තර්ජාතික සංවිධානයේ දේශීය නියෝජිත ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් අනුරාධපුර තුම්බිකුලම වැව් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් සිදු කෙරේ.

මෙයට අමතරව තවත් පැටවුන් 70,000 පමණ ප්‍රමාණයක් මාස කිහිපයක් තුළ, විද්‍යාත්මක ක්‍රමවේදයකට තෝරාගත් ස්ථාන වෙත ක්‍රමානුකූලව නිදහස් කිරීමට කටයුතු යොදා ඇත.

මසුන් අභිජනන පර්යේෂණ කණ්ඩායම් ප්‍රධානියා ලෙස මහාචාර්ය චමින්ද එන්. වල්පිට මහතාද, ඒ. ආර්. මුදලිගේ මහතා, ආචාර්ය සඳුන් පෙරේරා සහ මහාචාර්ය ඒ. ආර්. එස්. බී. අතාවුද මහතාද මෙවැනි වඳවී යන මසුන් අභිජනනය මගින් සංරක්ෂණය කිරීම සඳහා තවත් පර්යේෂණ සිදු කරමින් සිටීම සංරක්ෂණයට ලැදි සියල්ලන්ගේම සතුටට හේතුවක් වනු නොඅනුමානය. මේ සඳහා සබරගමුව විශ්වවිද්‍යාලය, ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, සොබාදහම සංරක්ෂණය සඳහා වූ අන්තර්ජාතික සංවිධානය, පරිසර අමාත්‍යාංශය, managing together
ව්‍යාපෘතිය, වනජීවී දෙපාර්තමේන්තුව, healthy landscape ව්‍යාපෘතිය ඇතුළු ආයතන රාශියක දායකත්වය ලැබී ඇත. තඹලයා ((IUCN‍ ආයතනයේ සම්පත් ද අල්විස් ගුණතිලක මහතා ගන්නා ලද ඡායාරූපයකි)

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment