ලෝක ශූර ප්‍රංශය සහ එංගලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

221

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ලෝක ශූර ප්‍රංශය සහ එංගලන්තය සමත් විය.

අවසන් කණ්ඩායම් 16 වටය යටතේ ප්‍රංශය සහ පෝලන්තය අතර පැවති තරගයෙන් ගෝල 3-1ක ජයග්‍රහණයක් ලබා ගත් ප්‍රංශය කණ්ඩායම එම දස්කම දැක්වීය.

එංගලන්තය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ සෙනගාලය 3-0ක් ලෙස පරාජයට පත් කරමිනි.

ප්‍රංශය වෙනුවෙන් ආරම්භක ගෝලය වාර්තා කළ ඔලිවර් ෂීරු ඒ සමගම ප්‍රංශය වෙනුවෙන් වැඩිම ගෝල් ලාභියාගේ වාර්තාව ද තම නම ඉදිරියේ සටන් කර ගත්තේය.ප්‍රංශය වෙනුවෙන් එතෙක් වැඩිම ගෝල් ලාභියා ලෙස පෙරමුණ ගෙන සිටි තියරි හෙන්රි ගේ ගෝල් 51 වාර්තාව බිඳ දමමින් ඔලිවර් සිය 52 වෙනි ගෝලය එහිදී වාර්තා කළේය. අනතුරුව ප්‍රංශය වෙනුවෙන් ගෝල් දෙකක් වාර්තා කිරීමට කිලියන් ම්බප්පේ සමත්වූ අතර එම ගෝල් දෙකත් සමග වයස අවුරුදු 24 ට පෙර දී වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයාගේ වාර්තාව ද තමාගේ නමට ලියා ගැනීමට ම්බප්පේ සමත් වූයේය. ම්බප්පේට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ සුපිරි පාපන්දු ක්‍රීඩක පේලේය. ම්බප්පේ තවමත් විසි තුන් හැවිරිදි වියේ පසුවන අතර ඔහු මේ වනවිට ජාත්‍යන්තර තරග 66ක දී ගෝල 33ක් ලබාගෙන ඇත.

සෙනගාලය එංගලන්තයට යටවෙයි

එංගලන්තය හා සෙනගාලය අතර පෙරේදා අවසන් කණ්ඩායම් 16 වටය යටතේ පැවති තරගයෙන් ගෝල 3-0ක ජයග්‍රහණයක් ලබා අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට එංගලන්තය සමත් විය. එහිදී එංගලන්තය වෙනුවෙන් ගෝල වාර්තා කිරීමට ජෝර්දාන් හෙන්ඩර්සන්, හැරී කේන් සහ බුකායෝ සකා සමත් වූහ.

සෙනගාලය අප්‍රිකාවේ පාපන්දු ශූරයන් වෙයි.

කටාර් හි අල් බයට් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවති අතර ඉන් ජයගත් එංගලන්තය අර්ධ අවසන් පූර්ව වටයේදී ප්‍රංශය සමග තරග වැදීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment