වගවීමකින් තොර බදුකරණය වාෂ්පශීලී මිශ්‍රණයකි

120

පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ යෑමත් සමඟ ඉන්ධන මිලදී ගැනීමේදී QR කේත කෝටා ක්‍රමය ඉවත් කර ඇත. මීට වසරකට පෙර ඉන්ධන පිරවුම්හල්වලින් පිටත පැවැති දිගු වාහන පෝලිම්වලින් මිනිසුන් ඉවත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ඔහුගේ ආණ්ඩුවට බැර කෙරෙන රට සාමාන්‍යකරණ කළ බවට වන සළකුණකි. පසුගිය වසර තුළ ඉන්ධන මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති අතර එය දැන් තවදුරටත් ඉහළ යමින්, ඉල්ලුම අඩු කිරීමට සහ කෝටා ක්‍රමයේ අවශ්‍යතාව ඉවත් කිරීමට ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබේ. මෙම මිල ඉහළ දැමීම විදේශීය සමාගම්වලට ශ්‍රී ලංකාවේ ඉන්ධන අලෙවි කර ලාභ ඉපැයීමට වඩාත් ආකර්ෂණීය අවස්ථාවක් වනු ඇත. අනෙක් අතට, ආර්ථික අර්බුදය ආරම්භ වූ දා සිට සාමාන්‍ය ජනතාව අත්විඳින බොහෝ මිල ගණන් තුන් ගුණයකින් හෝ ඊටත් වඩා වැඩි ලෙස ඉහළ යෑම සහ දුගීභාවයට පත්වීම වත්මන් යථාර්ථයේ කේන්ද්‍රීය ලක්ෂණයකි. පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ යෑම අනෙකුත් වියදම් කෙරෙහිද බලපානු ඇති අතර එය ජනතාව තව තවත් දිළිඳු කරනු ලබයි.

රටේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යෑම විසින් ජනතාවගේ ජීවන තත්ත්වයට ඇති කර තිබෙන විනාශකාරී බලපෑම, වරින්වර සිදුකෙරෙන සමීක්ෂණ වලින් අනාවරණය වේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් මෙහෙයවන ලද ජාතික පුරවැසියන්ගේ සමීක්ෂණයකින් හෙළිව ඇත්තේ, ජනගහණයෙන් සියයට 55 කට වඩා වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ව්‍යසන, ජීවන තත්ත්වයන් හා දරුවන්ගේ පාසල් පැමිණීම, ශාරීරික තත්ත්වය, විරැකියාව මෙන්ම ණයගැතිභාවය ඇතුළු දර්ශක 12 ක් හරහා අවදානමට ලක්ව ඇති බවයි. ඇත්ත වශයෙන්ම, මෙම සමීක්ෂණයෙන් පෙන්නුම් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ මිලියන 22 ක ජනගහණයෙන් මිලියන 12 කට වැඩි පිරිසක් අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර, යථා තත්ත්වයට පත්වන ආර්ථිකයක් පිළිබඳ ප්‍රකාශයන් මධ්‍යයේ ජනතාව අවදානමට ලක්ව ඇති බවයි. අවම ජීවන තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා තම වත්කම් විකිණීමට මිනිසුන්ට බලකෙරෙමින් තිබේ.

තවත් සමීක්ෂණයකින්, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) වාර්තා කර ඇත්තේ, ගොවීන්ට අවශ්‍ය යෙදවුම් සඳහා ප්‍රවේශ වීමට පවතින බාධා හේතුවෙන්, 2023 වසර සඳහා ප්‍රක්ෂේපිත ධාන්‍ය නිෂ්පාදනය පසුගිය පස් අවුරුදු සාමාන්‍යයට වඩා අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි. ප්‍රධාන ආහාර ද්‍රව්‍යවල ඉහළ යන මිල ගණන් සැළකිව යුතු පවුල් සංඛ්‍යාවකට ආහාර සඳහා පවතින ආර්ථික ප්‍රවේශ්‍යතාව සීමා කිරීමේ කාර්යභාරය ඉටුකරයි. තවත් වාර්තාවක, ලෝක ආහාර වැඩසටහන (WFP) 2023 බෝග සහ ආහාර සුරක්ෂිතතා තක්සේරු මෙහෙයුමේ සංඛ්‍යාලේඛන ඔස්සේ අනාවරණය කර ඇති ආකාරයට, ශ්‍රී ලාංකිකයන් මිලියන 3.9 ක් පමණ ආහාර අනාරක්ෂිතභාවයෙන් පීඩාවට පත්ව සිටිති.

පළමු ගැටලුව

මිල මට්ටමේ අඛණ්ඩ වැඩිවීමත් සමඟ ජනතාව මත පටවා ඇති වක්‍ර සහ සෘජු බදු ඉහළ මට්ටමක පවතී. මෙය ද්විත්ව පහරකි. “පහළ මධ්‍යම පාන්තික කුටුම්භයන්ගේ මාසික පඩි පැකැට්ටුවෙන් වැඩි ප්‍රමාණයක් කොල්ලකෑම සඳහා සෘජු ආදායම් බදු සීමාව පහත හෙළීමට සමගාමීව, 2022 ජූනි සහ සැප්තැම්බර් අතර කාලයේදී 15% දක්වා ප්‍රතිගාමී වක්‍ර බදු (වැට්) දෙගුණයකින් පමණ වැඩි කර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ජනගහණයේ දුප්පත් කොටස්වලට අද බදු බර දැරීමට සිදුව ඇත” යැයි ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති සහ සිවිල් සමාජ සංවිධානවල සාමූහිකයක් විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ. 2022 සැප්තැම්බර් මාසයේදී ආහාර උද්ධමනය ආසන්න වශයෙන් 95% දක්වා ඉහළ ගියේය. පසුගිය වසර අවසානයේ දී 57% ක මූලික උද්ධමනය සමඟ, සැබෑ වැටුප් 50% කින් පමණ පහත වැටී ඇත. ලෝක බැංකුව ඇස්තමේන්තු කරන්නේ 2022 වන විට රැකියා 500,000 ක් අහිමි වී ඇති බවයි.

ආණ්ඩුවේ අලුත්ම නිවේදනය වන්නේ ධනය, උරුමය සහ දේපළ මත බදු පැනවීමයි. බදු ගෙවිය යුතු, එවැනි වත්කම් ඇති අයට පමණක් බලපාන බැවින් මෙය යුක්ති සහගත බව පෙනේ. කෙසේ වෙතත්, මෙය මධ්‍යම පාන්තික ජනතාවගෙන් සැළකිව යුතු කොටසකට මෙන්ම, යන්තමින් ජීවිතය ගැටගසා ගත හැකි සහ තම වත්කම් සියල්ල නිවසක් ඉදිකිරීමට යොදවා ණය ගෙවමින් සිටින සැළකිව යුතු පිරිසකට ද බලපානු ඇත. කළින් පෙන්වා දුන් පරිදි, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සමීක්ෂණයෙන් පෙන්නුම් කර ඇත්තේ, ජනගහණයෙන් සියයට 55 ක් පමණ අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර, ඔවුන් දැඩි ලෙස අවදානමට ලක්ව ඇති බවයි. වෘත්තීය සුදුසුකම් ඇති හෝ විදේශ

රැකියාවකට යෑමේ අභියෝගය භාරගැනීමට කැමති පුද්ගලයන් විශාල වශයෙන් විදේශගත වන්නේ, බදු පැනවීමෙන් පසු ඉතිරි වන ආදායමින්, වැඩි වූ වියදම් මට්ටම පියවා ගැනීමට නොහැකි නිසාය.

තම අයවැය හිඟය පියවීමට ප්‍රමාණවත් සම්පත් සොයාගැනීමට රජය දරන ප්‍රයත්නයේ පළමු ගැටලුව වන්නේ, එමගින් දැනටමත් විධිමත් ආර්ථික ක්‍රමයේ රැඳී සිටින පිරිස් පසුපසට ඇදදැමීමයි. සාපේක්ෂව අඩු ආදායම්ලාභීන් පවා හසුකර ගැනීමට බදු දැල ගැඹුරු කෙරෙමින් පවතී. එමගින් උත්සාහ කරනුයේ, විධිමත් ආර්ථික ක්‍රමයේ සිටින, නීතිගරුක පුද්ගලයන්ගෙන් බදු අයකර ගැනීමටය. කෙසේ වෙතත්, මෙම විධිමත් ආර්ථික ක්‍රමයට පිටින් සිටිමින් අතිවිශාල ලෙස මුදල් උපයන, විදේශයන්හි පවා තැන්පත් කළ හැකි තම ආදායමට හා ධනයට බදු පැනවීමට නොහැකි විශාල පිරිසක් සිටිති. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පෙන්වාදුන් අභ්‍යවකාශ චන්ද්‍රිකාව ඊට උදාහරණයකි. සඳට යැවූ ඉන්දීය රොකට්ටුවට වඩා එම ව්‍යාපෘතියේ වියදම වැඩි වුවත්, ඒ ගැන විමසූ විට කියැවුණේ එයට පෞද්ගලිකව අරමුදල් සපයා ඇති බවයි. එම ව්‍යාපෘතියට අරමුදල් සැපයූ අය සහ ඔවුන්ගේ ආදායම් සඳහා බදු ගෙවා ඇත්දැයි සොයාබැලීම අවශ්‍ය වේ.

දෙවැනි ගැටලුව

ආරක්ෂක අංශ හරහා බිඳ දැමූ, ආණ්ඩුව විසින් සම්පූර්ණයෙන් මර්දනය කර ඇති, වසරකට පෙර පැවැති විරෝධතා ව්‍යාපාරයේ අරමුණු තුනක් පැවැතිණි. පළමු අරමුණ වූයේ එවකට සිටි ජනාධිපතිවරයා ගෙදර යැවීමයි. දෙවැනි අරමුණ වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාද ගෙදර යැවීමයි. තෙවැන්න ක්‍රමය වෙනස් කිරීමයි. එම පොදු අරමුණට සහයෝගය දැක්වීම වෙනුවෙන් පොදු ස්ථානවලට පැමිණි සෑම වයස් කාණ්ඩයකම සහ ප්‍රදේශයකම ජනතාව විසින් ග්‍රහණය කරගන්නා ලද සවිඥාණික ආත්මයක් එහි තිබිණි. එම ආත්මය දිගටම ජීවත් වේ. වෙරිටේ රිසර්ච් ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ විරෝධතා ව්‍යාපාරය ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට හේතු වූ බව, මහජනතාවගෙන් 60% ක් පමණ විශ්වාස නොකරන බවයි. ඊට අමතරව, මෙම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 51 ක් කියා ඇත්තේ, 2022 අගෝස්තු 10 වැනි දින අරගලයේ විරෝධතාකරුවන් ගාලු මුවදොර පිටියෙන් ඉවත් වී වසරක් ගතවන විට, ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීම සඳහා දූෂිත හා අයහපත් දේ නිවැරදි කළ යුතුව ඇති බවයි.

ආර්ථික අභියෝගය ජය ගැනීම සඳහා ප්‍රමාණවත් සම්පත් සොයාගැනීමට රජය දරන උත්සාහයේ දෙවන ගැටලුව වන්නේ කිසිදු ක්‍රමවේදයක් වෙනස් නොවීමයි. 1776 එක්සත් ජනපද විප්ලවය ක්‍රියාත්මක වූයේ “නියෝජනයකින් තොරව බදු පැනවීමක් නැත” යන සටන් පාඨය මතය. ශ්‍රී ලංකාවේ එය වගවීමකින් තොරව බදු අය කිරීමකි. වගකීම් දැරීමේ බරින් මිදී හෝ අඩුම තරමින් බරින් කොටසක් හෝ දරන ලෙස ඉල්ලා සිටින කුඩා කණ්ඩායමක් විසින් ඇති කරන ලද ආර්ථික කඩාවැටීමේ මිල, බහුතරයක් ජනතාව ගෙවමින් සිටිති. බලය අනිසි ලෙස භාවිත කිරීම, දූෂණය සහ වැරදි කළමනාකරණය ඇතුළු අතීතයේ සෑම දෙයක්ම නොවෙනස්ව පවතී. මේ සියල්ල ඉතිරිව ඇති අතර, විශේෂයෙන්ම දූෂණය සම්බන්ධයෙන් පවතින ආරංචිය සත්‍ය නම්, තත්ත්වය පෙරට වඩා භයානකය. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කැපී පෙනෙන වෙනසක් විය හැකි නමුත්, ඖෂධ, බලශක්තිය හෝ පොහොර හදිසි මිලදී ගැනීම් සම්බන්ධයෙන්, බලයේ සිටින වෙනත් අය විසින් සිදුකරනු ලබන දූෂණයන් දකින ජනතාවට, ඔවුන්ගේ මූල්‍ය පිරිසිදුකම සහනයක් වන්නේ නැත.

සමාජය තුළ කලකිරීම් සහ කෝපය ගොඩනැඟීම දිනෙන් දින වර්ධනය වන අතර, ආණ්ඩුවේ කිසිවෙක් විසින් සමාන පරිත්‍යාගයකින් හෝ වගවීම ප්‍රදර්ශනය කිරීමකින් කටයුතු නොකරති. ජනතාව මත අමතර බරක් පටවන සෑම මිලක් සහ බදු වැඩි කිරීමක්ම එම නිෂේධාත්මක තත්ත්වයන් උත්සන්න කිරීමට දායක වේ. රට ගමන් කරන දිශාව සාධනීය නොව ඍණාත්මක බව පෙනේ. වැරදි කළමනාකාරිත්වය සහ දූෂණය සම්බන්ධයෙන් අණදීමේ වගකීම ඔවුන් සියල්ලන්ටම පැවරෙන බව මතක තබා ගත යුතුය. කලකිරීම් සහ කෝපය කුටුම්භයන් දෙසට හැරෙමින් පවුල් තුළ ප්‍රචණ්ඩත්වය වැඩි වන බවට සාක්ෂි තිබේ. මංකොල්ලකෑම්, ඝාතනද එසේමය. මෙම කලකිරීම සහ කෝපය අනෙකුත් ප්‍රජාවන්ට එරෙහිව වඩාත් සාමූහික ස්වරූපයන් එල්ලවන බවද දැකගත හැකිය. මැතිවරණ තව දුරටත් කල්දැමිය නොහැකි වූ විට කලකිරීම සහ කෝපය ඡන්දය භාවිත කරන ආකාරයෙන් ප්‍රකාශ වනු ඇති අතර, මැතිවරණ දිගින් දිගටම කල් දැමුවහොත්, වසරකට පෙර පැවති විරෝධතා ව්‍යාපාරයට තරම් පරමාදර්ශී නොවන නව විරෝධතා ව්‍යාපාරයක් ආකාරයෙන් එය නැවත නිර්මාණය විය හැකිය.

ජෙහාන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment