වලව්වක් කලාගාරයක් වූ වගයි!… කොළඹින් බැහැර අල්බොරෝදා කලාගාරය විවෘත වූ දා

214

හරබර සැඳෑවක් පිණිස සියලු කටයුතු සම්පාදනය වන අයුරු දැකගත හැකි විය. වැසි සහිත කාලගුණය නොවන්නට එම සැඳෑව තව තවත් වර්ණවත් වනු ඇතැයි අනුමාන කළ හැක. අපගේ ගමනාන්තය පැවතියේ මතුගම හොරවල හත්වන පටුමගෙහි පිහිටි එක්තරා ගෘහයක් වෙතය. හොරවල හත්වන පටුමගෙහි මඳ දුරක් ඇවිද ගිය පසු ඇසගැටෙන එම විසල් ගෘහය වෙත අප ළඟා වනවිටත් කලාකාමී රසවතුන් පිරිසක් එහි එක්රැස්වී සිටින අයුරු දැකගත හැකි විය. තව තවත් ආරාධිතයන් තනි තනිව ද කණ්ඩායම් වශයෙන් ද එහි පැමිණෙමින් සිටින අයුරු නිරීක්ෂණය විය. නෙතට රසඳුනක් බඳු එම දසුන් ඇසගැටෙන්නේ ඉකුත් ඉරු දින හිරු අවරට යමින් පැවැති හෝරාවකය. පිරිස එක්රැස් වෙමින් පැවතියේ ගෘහයක් ‘කලාගාරයක්’ බවට පත්කළ කලාකාමී මිනිසකුගේ ඉවත නොදැමිය හැකි ඇරයුම හේතුවෙන්ය.

කාලයේ අනවරථ අතවරයන්ට ලක්ව ගරාවැටීමට නියමිතව පැවති ඉපැරණි ගෘහය මුළුමනින්ම අලුත්වැඩියා කොට ඇත. එහි විශේෂත්වය බවට පත්වන්නේ ගෘහයේ ඉපැරණි බව ඒ ආකාරයෙන්ම ආරක්ෂා වන පරිදි සියලු අලුත්වැඩියා කටයුතු සිදුකර තිබීමය. සියුම් ඉසියුම් ලීස්තර, කැටයම් ආදියට අංශුවක තරමින් හෝ හානියක් සිදුකොට නැත. සියලු දේ කලාත්මක බවින් පොහොසත්ය. එම ගෘහය මතුපිටින් පමණක් නොව හරයෙන්ම කලාගාරයක් බවට පත්කොට ඇති ආකාරය දැකගත හැකි වන්නේ ගෘහය තුළ ඔබමොබ සැරිසරන විටය. ලාංකික සිනමාව, වේදිකාව පමණක් නොව සිංහල ගීත සාහිත්‍යයේ සහ ලේඛනයෙහි සමත්කම් දැක්වූ ප්‍රවීණතම කලාකරුවන්ගේ, ලේඛකයන්ගේ උඩුකය රුව රැගත් ඡායාරූප විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය පිණිස තබා ඇත. එම නිර්මාණාත්මක වෙහෙස තුළ පවතින්නේ ද කලාවෙන් හදවත් නිවා සුවපත් කළ ප්‍රවීණයන්ට කෘතගුණ දැක්වීමක්ය. නුදුරු දිනක අංගසම්පූර්ණ පුස්තකාලයක් ද කියවීම් ශාලාවක් ද මෙහි ස්ථාපිත කිරීමට නියමිතව ඇත.

වලව්වක් කලාගාරයක් වූ වගයි!… කොළඹින් බැහැර අල්බොරෝදා කලාගාරය විවෘත වූ දා

මෙතැන් සිට පැවසෙන්නේ සියවසකට ආසන්න කාලයක් තිස්සේ පැවැති ගෘහයක්, කලාගාරයක් බවට පත් කළ වෙහෙසකර වෑයම පිළිබඳ කතාවය. හුදු මූල්‍යමය ලාභ අපේක්ෂා කිසිවකින් තොරව යහපත් අරමුණින් එම ගෘහය කලාගාරයක් බවට පත්කොට පස්යොදුන් රටට අලුත් ආලෝකයක් එක්කරනු ලබන්නේ නීතිඥ ගාමිණී නල්ලපෙරුම විසින්ය. හේ අධිකරණය තුළ තර්ක විතර්කයේ සමතකු මෙන්ම සාමාන්‍ය ජීවිතයේදී සාහිත්‍ය සංවාද විසංවාදයෙහි සමතෙක්ය. හොරවල හත්වන පටුමග පිහිටි ඉපැරණි ගෘහයක්, කලාගාරයක් බවට පත්වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසින්ය.

ඉකුත් ඉරු දින සියයකට නෙැවඩි සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් එහි සමාරම්භක උළෙල පැවැත්විණ. ඒ සඳහා විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍රවීණ සාහිත්‍යවේදී චුලානන්ද සමරනායක ඇතුළු තවත් කලාකරුවන්

කීපදෙනෙක් සහභාගි වූහ. ඊට අමතරව ඉහත සඳහන් කලාකාමී සහෘදයන් එහි එක්රැස්ව සිටියේ එම අසිරිමත් ආරම්භය දැක බලා ගැනීම පිණිසය. සාහිත්‍යවේදී චුලානන්ද සමරනායකගේ හරබර දෙසුමකින් අරඹන ලද උත්සවයේදී සිය මුඛ්‍ය දේශනය සිදු කළ ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක සඳහන් කර සිටියේ තමන්ගේ ප්‍රථම සිනමා කෘතිය වූ ‘හංස විලක්’ චිත්‍රපටය නිෂ්පාදනය මතුගම ප්‍රකට ව්‍යාපාරිකයකු වූ ඇල්බට් ජයසිංහගේ මූල්‍යමය දායකත්වය යටතේ සිදුකළ බවත් එබැවින් මතුගම යනු තමන්ට අලුත් පළාතක් නොවන බවත්ය. ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයකු ලෙස කටයුතු කරන ගාමිණි නල්ලපෙරුම විසින් සිය පුද්ගලික ධනය වැයකර මෙවැනි කලාගාරයක් ප්‍රදේශයට දායාද කිරීම බෙහෙවින් අගය කළ යුතු කටයුත්තක් බවත් කොළඹින් බැහැර පාසල් දුවා දරුවන්ගේ කලා කුසලතාවන් මෙන්ම හැකියාවන් වර්ධනය කිරීමත්, ප්‍රදේශයේ කලාකරුවන්ගේ නිර්මාණ හැකියාවන් එළිදැක්වීම පිණිසත්, මෙම ස්ථානය තෝතැන්නක් බවට පත්කර ගත යුතු බව ඒ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ඉන් අනතුරුව පැවැතියේ සියදෙනකුට පමණ පහසුවෙන් අසුන්ගත හැකි ආලින්දය තුළ ධර්මසිරි බණ්ඩාරනායකගේ “පාරාදීසය සොයා” සුවිශේෂී වාර්තාමය චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමය. ප්‍රේක්ෂක අවධානය ඉහළින්ම දිනා ගැනීමට සමත් වූ එම වාර්තාමය චිත්‍රපටය නැරඹීම පිණිස ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක ද සහභාගි වී සිටීම එහිදී දක්නට ලැබුණ තවත් විශේෂත්වයක් විය.

සාර්ථක ආරම්භයක් සහිතව ආරම්භ කරන ලද කලාගාරය නම්කොට ඇත්තේ “අල්බොරෝදා ආර්ට් හවුස්” යනුවෙන්ය. ගරාවැටීමට නියමිතව පැවැති නිවසක් කලාගාරයක් බවට පත්කළ ගාමිණි නල්ලපෙරුම, උත්සව සභාව අවසානයේදී සඳහන් කර සිටියේ මූල්‍යමය ලාභ ප්‍රයෝජනයන්ගෙන් තොරව ආරම්භ කරන ලද තම කලාගාරය යහපත් දේ සමාජගත කිරීම පිණිස මෙතැන් සිට යොදාගන්නා ලෙසත්, කලාවෙන් තොර සමාජය ප්‍රචණ්ඩත්වයට නැඹුරු වන බැවින් යහපත් සමාජ දේහයක් නිර්මාණය කිරීම පිණිස මෙය ආරම්භයක් බවට පත්කර ගන්නා ලෙසත්ය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment