වසංගත සමයේදී සමිඳු සරණ සොයන අපට ශුද්ධ බයිබලයේ ගීතාවලියේ අසිරිමත් පණිවඩුඩය

488

ශුද්ධ බයිබලය කිතුනු සමස්ත ජනතාවගේ ගෞරවාදරයට පාත‍්‍ර වූ ‘දේව වචනය’ අඩංගු ග‍්‍රන්ථය ලෙසින් ලොව පුරා ප‍්‍රචලිතව ඇත. පැරණි ගිවිසුම හා නව ගිවිසුම ලෙසින් කොටස් දෙකක් වන එහි පැරණි ගිවිසුමේ අඩංගු ‘ගීතාවලිය’ යාච්ඤාවේ ජීවිතයට රුකුල් දෙන ගීත රාශියකින් සමන්විත මහඟු ග‍්‍රන්ථයකි.

එයින් වර්තමානයේ විශේෂයෙන් කතෝලික ජනතාව අතරින් බොහෝ දෙනකු දෛනික සන්ධ්‍යා යාච්ඤාවට තෝරා ගෙන ඇති අංක 91 ගීතය අතිශය කාලෝචිත එකකි. ‘දෙවිඳුන් කෙරෙහි අචල විශ්වාසය’ ලෙසින් හඳුන්වාදී ඇති මෙය වගන්ති 16 කින් සමන්විතය.

‘‘පරමේශ්වරයාණන්ගේ රැකවරණයෙහි වසන තැනැත්තේ, සවිබලැති දෙවිඳුන්ගේ සරණෙහි සුරැකි වන්නේය.’’ යන්නෙන් ඇරඹෙන 91 ගීතය දිව්‍ය සංරක්ෂණය පිළිබඳව අපට මොනවට කියාපාන්නේය. ඔහු සමිඳුන්ට මෙසේ පවසයි, ‘‘එතුමාණෝ මාගේ රැකවරණය, මාගේ බළකොටුවය; මාගේ දෙවිඳාණෝය. මම එතුමන් කෙරෙහි මාගේ විශ්වාසය තබන්නෙමි. එතුමාණෝ කපටින්ගේ මළපත්වලින් ද බියකරු ලෙඩ රෝගවලින් ද අප රැක ගන්නා සේක. සිය පියාපත්වලින් ඔබ ආවරණය කරන සේක. ඒවා ඔබේ රැකවරණය වන්නේය. එතුමන්ගේ විශ්වාසවන්තකම ඔබට රැකවරණය ද පළිහ ද වන්නේය. රෑ කාලයේ ඇති වන බියටවත්, දවාලේ ඊ පහරින් වන උවදුරටවත් ඔබ බිය නොවන්නේය. අඳුරෙහි සැරිසරන වසංගතයටවත්, මධ්‍යහ්නේ වනසාලන පීඩාවටවත් ඔබ බිය නොවන්නේය.’’ එදිනෙදා ජීවිතයේ අප මුහුණ දෙන අභියෝගවලින් අප මුදාලන දෙව්සමිඳාණන් කෙරෙහි විශ්වාසයෙන් ජීවත් වීමට අප දිරිමත් කරන මෙම වගන්ති අප ශක්තිමත් කරනු ලබයි.

‘‘දහසක් ඔබේ වම්පසින් ද දසදහසක් ඔබේ දකුණුපසිනස් ද වැටෙන්නෝය. එහෙත් පීඩාවක් ඔබට නොවන්නේය. ඔබේම දෙනතින් මේ සියල්ල ඔබ දකින්නේය. දුදනන්ටවන දඬුවම ඔබ නරඹන්නේය.’’

අපට කොකෙත් පීඩා එල්ල වුව ද කිසි හානියක් නොවන බව උක්ත වගන්තිවලින් කියැවෙයි

‘‘ඔබ සමිඳාණන් තුළ ඔබේ රැකවරණය තැබුවෙහිය. පරමේශ්වරයාණන් ඔබේ වාස භවනය කර ගත්තෙහිය. එවිට ඔබට කිසි උවදුරක් නොවන්නේය. ඔබේ නිවසට කිසියම් වසංගතයක් ළං නොවන්නේය. ඔබ රක්නා පිණිස එතුමාණෝ සිය දූතයන්ට අණදෙන සේක. ඔබ දෙපා ගල්වල නොහැප්පෙන පිණිස ඔවුහු සියතින් ඔබ උසුලා ගත්තේය.’’ සමිඳාණෝ මෙසේ වදාරණ සේක. ‘‘ ඔබ මට පේ‍්‍රම කරන්නේ නම් මම ඔහුට විමුක්තිය දෙන්නෙමි. ඔහු මාගේ නාමය පිළිගන්නේ නම් මම ඔහු රැුක ගන්නෙමි. ඔහු මට අයදින්නේ නම් මම පිළිතුරු දෙන්නෙමි. දුකේදී ඔහු සමඟ සිට ඔහු මුදා ඔහු ට ගරු කරන්නෙමි. දීඝායු දී ඔහු සතුටු කරන්නෙමි. මාගේ ගැලවීම මම ඔහුට සපුරා දක්වන්නෙමි.’’

සී. ආර්. ඩික්සන් ඇන්තනි

වසංගත සමයේදී සමිඳු සරණ සොයන අපට ශුද්ධ බයිබලයේ ගීතාවලියේ අසිරිමත් පණිවඩුඩය
advertistmentadvertistment
advertistmentadvertistment