විල්ලු සහ පත්තු එක්වී සැදුණු විල්පත්තු ජාතික වනෝද්‍යානය මේ රටේ ඇති පැරණිම සහ විශාලම වනෝද්‍යානයයි. වර්ග කිලෝමීටර් එක්දහස් තුන්සියකට වඩා වැඩි වපසරියකින් යුතු මේ භූමියේ වෘක්ෂලතා වියන යට සැඟවුණු රහස් තවමත් පිටස්තර ලෝකයට හරි හැටි අනාවරණය වී නොතිබේ. ශ්‍රී ලංකාවේ උතුරු දෙසටත් වයඹ දිග කෙළවර වන්නටත් කොහොමටත් ඉතිහාස ගවේෂණ සිදුව ඇත්තේ අල්ප ප්‍රමාණයකි. ඒ නිසාම මෙරට ඉතිහාසයේ හෙළි නොවූ කාල පරිච්ඡේදයක් තවදුරටත් මේ පොළව යටම පවතිනු ඇති. අප මේ මහා විසල් විල්පත්තු අභය භූමිය ගැන එසේ කීවේ එහි කෙලවරට වන්නට ඇති මහා අතීතයක සලකුණු තිබෙන කුදිරමලේ තුඩුව දැක ගැනීමට ගිය සංචාරය හේතුවෙනි.

එක් පැත්තකින් විල්පත්තුවේ කෙලවරට වන්නට පුත්තලම් දිස්ත්‍රික්කයට අයත් කුදිරමලේ යනු මේ රට ජනාවාස වූ බවට ලිඛිත ඉතිහාස කතාවේ අරුණෝදයටම අයත් භූමියකි. මුහුදට නෙරා ගිය උස් භූමියකින් යුතු මනස්කාන්ත භූ විෂමතා ලක්ෂණයක් විදහාලන එම භූමිය ඉතිහාස සහ පරිසර ලෝලීන්ගේ සිත් අලවන නවාතැන්පළකි. අප කුදිරමලේ තුඩුව දැක ගත්තේ ඉරගල වැටෙන්නට හෝරා දෙකකට ආසන්නව තිබියදී නිසා එහි මැවෙන අයස්කාන්ත පරිසර චමත්කාරය සිත් සේ විඳගත්තෙමු. නමුත් කුදිරමලේ යනු පරිසර චමත්කාරය විඳීමට පමණක් ලඝු කළ යුතු ගමනක් නොවේ. මේ භූමිය ජනප්‍රවාද ගණනාවක් නිදන්ගත භූමියකි.

ඉතිහාසගත ජනප්‍රවාදයන්ට අනුව මේ භූමිය කුදිරමලේ නමින් හැඳින්වීමට පෙර අතීතයේ විවිධ කාල පරාසයන්හීදී නම් කිහිපයකින් හඳුන්වා ඇත. එහි පැරණිම නම විජයාවතරණය සමග බැඳුණු එකකි. අපේ මහා වංශ කතාවේ සඳහන් ඉන්දියාවේ සුප්පා වරායෙන් පිටමන් කළ විජය රජු ඇතුළු පිරිස රැගත් රුවල් නැව් මෝසම් සුළං ප්‍රවාහයට අසුව ගසාගෙනවුත් සේන්දු වූ තඹවන් වෙරළ මෙය බව කියයි. අදටත් රත් පැහැ ගත් පස් තට්ටුව සහිත කුදිරමලේ පොලව මේ ජනප්‍රවාදය තවදුරටත් රැකගයි. ක්‍රිස්තු පූර්ව සය වැනි ශත වර්ෂයේදී විජය කුමරු මේ වෙරළට පය තබා වෙරළේ ස්පර්ශ වූ ශරීරයේ සෑම තැනක්ම රත් පැහැ ගැන්වීම නිසා මේ බිම තම්බපණ්නියක් යැයි හඳුන්වා තිබේ. අතීත ලංකාව තම්බපණ්නිය ලෙස ලෝකයා හැඳින්වීමට විජය කුමරුගේ දැවටුණු කුදිරමලේ පසේ පවතින වර්ණය හේතු වන්නට ඇතැයි සමහරු මේ නිසා මත පළකරති. වර්තමාන කුදිරමලය පුරා විසිරී තිබෙන පසේ මේ වර්ණය දකුණුලක උස්සන්ගොඩ තුඩුවේද යම් තරමකින් දැකගත හැකි වීම මේ කතාවේදී අප අමතක කළ යුතු නොවේ. කෙසේ වෙතත් විජයගේ පැමිණීමෙන් ශත වර්ෂයකට පසු ක්‍රිස්තු පූර්ව පස් වන සියවස වන විට කුදිරමලේ යනු තැප්‍රොබේනයයි. තම්බපණ්නිය හෙවත් තම්මැන්නාවට ඒ නම තබන්නේ ග්‍රීකයන් විසිනි. තම්බපණ්නිය තැප්‍රොබේනය කළේ අපරදිග මහා දාර්ශනික ඇරිස්ටෝටල් බව කියයි.

එම යුගයෙන් තවත් ශතවර්ෂ පහකට පසු ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ මැද කාලයේ ග්‍රීසියේ විසූ ප්ලිනි මේ බිම “හිප්පෝරස් ” නමින් හඳුන්වා දී තිබේ. එය කුදිරමලේ යන දමිළ තේරුමට සමාන වන අශ්ව කන්ද තේරුම ගෙන දෙන බව කුදිරමලේ පිළිබඳ ඇති ලිපියක සඳහන් වේ. යුරෝපීය ජාතීන් ඉන්දියානු සාගරයේ පිහිටි හිප්පෝරස් තුඩුව පිළිබඳ දැනුවත් වීම යනු ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවස වන විටත් ඔවුන්ට මේ දූපත පිළිබඳ වැටහීමක් තිබුණේ යැයි සිතිය හැකිවේ. එය සනාථ කරන රසවත් කතාවක් තිබේ. එම කාලයේ සශ්‍රීක රෝම අධිරාජ්‍යයේ සීසර්ගේ බදු එකතු කරන නියෝජිතයන් මන්නාරම නුදුරු සාගරයේ යාත්‍රා කරමින් තිබියදී ඔවුන්ගේ යාත්‍රා සුළං ප්‍රවාහයකට හසුව ගොඩගසා තිබෙන්නේ කුදිරමලේ වෙරළටයි. ප්ලෙනිට කුදිරමලේ තුඩුව හිප්පෝරස් ලෙස හැඳින්වීමට හේතු වී තිබෙන්නේ මේ පිරිස කුදිරමලේ හිප්පෝරස් ලෙස හැඳින්වීමයි. එකල මේ ප්‍රදේශය පාලනය කළ රජු මේ රෝමාණුවන් යටත් කරගෙන ඔවුන්ගේ සියලු වස්තුව රජ්ු භාරයට ගත්තද පසුව රෝම අධිරාජ්‍යයේ යසස ගැන දැනගෙන ඔවුන් නිදහස් කර තිබේ. අනතුරුව රෝමය සමග වෙළෙඳ ගනුදෙනු ඇරඹීම දක්වා හේතු වී ඇත්තේ එම සිදුවීමයි.

කුදිරමලේ සංචාරය නිසැකවම කුදිරමලේ අශ්වයා නොසොයන්නේ නම් පුදුමයකි. අපටද කුදිරමලේ සංචාරයේදී කුදිරමලේ අශ්වයා හා බැඳි කතාව සොයාගැනීමේ කුතුහලයක් තිබුණි. මුහුද දෙසට නෙරා ගිය මේ මනරම් තුඩුවට අශ්ව කන්ද නමැති තේරුම
ගෙනෙන්නට නිසැකවම හේතු වන්නට ඇත්තේ මේ අශ්ව කතාවයි. ඒ ජනප්‍රවාදයද ඇදී යන්නේද වසර දෙදහස් හයසීයකට වඩා අතීතයකට වන අතර එම මන්නාරම් වෙරළ තීරයේ පාලනය හොබවා ඇත්තේ ඉන්දියාවේ සිටි අල්ලි රාණී හෙවත් අල්ලි අසරි රැජිනියයි. සුන්දරත්වයේ රැජිනිය ලෙස එකල ලෝකය තුළ ප්‍රසිද්ධ ඇගේ පාලන කාලයේද මේ දූපත මුතු වෙළෙඳාමට නම් දැරූ රටක් ලෙස ඉතිහාස කතා වල කියැවේ. අල්ලි රාණි රැජින මන්නාරම අවට මුහුදු කලාපය මුතු කිමිදීම සඳහා තෝතැන්නක් බවට පත්කරගෙන සිටි කාලයයි ඒ. ඇය කුදිරමලේ සිට වාන්කාලෙයි දක්වා මුහුදු කලාපයෙන් ලබා ගත් මුතු අස්වැන්න අරාබි වෙළෙඳුන්ට විකිණීමේ වෙළෙඳ තොට බවට පත්කරගෙන තිබෙන්නේ කුදිරමලේ තොටයි. භාණ්ඩ හුවමාරු වෙළෙඳ ක්‍රමය ජනප්‍රිය එවකට මුතු වෙනුවට හුවමාරු කරගෙන තිබෙන්නේ අශ්වයන් බව එම කතාවල කියැවේ. මේ නිසා අශ්ව කන්ද නම අරුත් දෙන මේ මනරම් තුඩුව මත්තෙහි අද ද දැකිය හැකි අශ්වයකුගේ පිළිරුවකින් බිඳි විනාශව ගිය පසුපස පාද වල කොටසක් දැකිය හැකි වේ. එම අශ්ව රුව කවර කලෙක ඉදිකළේ දැයි තවමත් අවිවාදිත කරුණකි. ඉන්දියානුවන්ට කුදිරමලේ වූ මේ භූමිය ග්‍රීකයන්ට හිප්පෝරස් වන්නට ඇත්තේ නිසැකවම අරාබි වෙළෙඳුන් සමග සිදුවූ අශ්ව වෙළෙඳාම නිසා යන්න වඩා පිළිගත හැකි මතයකි.

විජයාවතාරණය හා බැඳි ජනප්‍රවාදයටද අනුබල දෙන තවත් අපූරු සාධකයක් කුදිරමලේ සංචාරය කරන්නෙකුට දැකගැනීමට හැකිවේ. ඒ විල්පත්තු වනෝද්‍යානයේ තිබෙන පැරණි ගොඩනැගිල්ලක ශේෂ නටබුන් කිහිපයකි. කුවේණියගේ මාලිගය ලෙස ජනප්‍රවාදයේ එන එම ගොඩනැගිල්ලේ අද දැකිය හැකි වන්නේ තැන තැන විසිරී ගිය ගල් කණු කිහිපයක් පමණි. මුල් කාලීන ඉදිකිරීමක් ලෙස අනුමාන කළ හැකි එම ගල් කණු ලියකම් වලින් තොර රළු පෙනුමකින් යුතු වේ. කුදිරිමලේ තුඩුවේ පස රත් පැහැයේ සිට තඹපැහැ ගන්නා නිසාත් විල්පත්තු වනයේදී හමුවන නටබුන්ව ගිය ගොඩනැගිල්ල නිසාත් කුවේණිය ජීවත්වූයේ කුදිරමලේ ආශ්‍රිත වර්තමාන විල්පත්තු වනාන්තරය අයත් ප්‍රදේශයේ බව මේ නිසා බොහෝ දෙනෙක් විශ්වාස කරති.

ඒ කුමක් වෙතත් කුදිරමලේ යනු මෙරට ඉතිහාසයේ මුල් කාලීන සිදුවීම් ගණනාවක මතකය රැඳි භූමියකි. බොහෝවිට එම අතීතය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වාම විහිදෙන බව විදේශිකයන් මේ රට පිළිබඳ ලියු සටහන්වල පවතින බව සඳහන් වේ. ඒ අතරින් බ්‍රෝහියර් සඳහන් කර තිබෙන්නේ මැටි භාණ්ඩ ගඩොල් කැබලි කුඩා ආභරණ ආදිය මේ ප්‍රදේශයේදී දැක ගත් බවකි. ඔහු සඳහන් කළ කරුණු වලින් වඩාත් ආකර්ෂණීය කරුණ වන්නේ කුදිරමලේ තුඩුව ආශ්‍රිතව ඉපැරණි නගරයක් තිබූ බවට වන සාධක පැවති බවයි. බ්‍රෝහියර් සඳහන් කරන ඒ පුරවරයේ නටබුන් අද නම් දැකිය හැකි නොවේ. ඒ වෙනුවට එහි ඇත්තේ දිනෙන් දින විනාශව යන සොහොනක නටබුන් සහ කැඩී බිඳී ගිය අශ්ව පිළිරුවේ පාදයේ කොටසක් පමණි. එම ශේෂව ඇති පැරණී නටබුන්ද පරිසරයේ උපද්‍රවයන්ට මුහුණ දී තව කොතරම් කලක් පවතීදැයි කිව හැකි නොවේ. නමුත් මේ ඉපැරණි භූමිය ඉතිහාසය හාරා හෙළිදරව් කිරීමේ අපූරු තෝතැන්නක් බව නම් කිව යුතුව තිබේ.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment