විද්‍යාඥයකු ලෙස සිතන්නේ කෙසේද?

263

★ ලෝකයේ මෙතෙක් බිහිවූ මිහිරිම සිංදුව මොකක්ද?

★ ලස්සනම පාට මොකක්ද?

★ එතෙක් මෙතෙක් බිහිවූ හොඳම කෙටිකතාව කුමක්ද?

★ ලෝකයේ රසම කෑම කුමක්ද?

මේ වගේ ප්‍රශ්නවලට නිවැරැදි එක පිළිතුරක් නැත. ඊට හේතුව නම් මෙවන් කාරණා පුද්ගල නිශ්‍රිත (subjective) වීමය. එනම් පුද්ගලයා, සංස්කෘතිය, ඒදෙස බලන කෝණය අනුව උත්තරය වෙනස් වෙන නිසාය.

නමුත් පහත ප්‍රශ්නවලට නිවැරැදි පිළිතුරක් ඇත.

★ ලෝකයේ වැඩිම පිටපත් ප්‍රමාණයක් විකිණුන ගීත තැටිය කුමක්ද?

★ වැඩිම වර්තනයට ලක්වන පාට කුමක්ද?

★ වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි වූ කෙටිකතාව කුමක්ද?

★ මිල අධිකම අතුරුපස කුමක්ද?

මේවාට නිශ්චිත පිළිතුරක් ඇත්තේ ඒවා වාස්තවික සත්‍යය (objective truth) නිසාය. මේවා සම්මුති සත්‍යයන් මගින් ගොඩනැඟෙන කාරණා නිසා ඒවාට නිවැරැදි පිළිතුරුක් ඇත. ඔබටත් මටත් වඩාත් ලස්සන ගීතය කුමක්ද කියා දින ගණනක් තර්ක කළ හැක. නමුත් වැඩියෙන්ම අලෙවි වූ කැසට් පටය ගැන තර්ක කිරීමට නොහැක. මන්ද එයට නිශ්චිත පිළිතුරක් ඇති නිසාය. එසේ තර්ක කරන්නේ නම් ඒ ආනුභවික සාක්ෂි (empirical evidence) මත විය යුතුය. එනිසා අප වැරදි නිවැරැදි යන්න නිශ්චය කරන්නේ වාස්ත්වික සත්‍යයන් තුළිනි.

පුද්ගල නිශ්‍රිත දැනුම (subjective knowledge) වැදගත් වන්නේ ඇයි?

කලාව, දර්ශනය, සාහිත්‍යය, දේශපාලනය, ආගම මෙන්ම ඇතැම්විට ආර්ථික ක්‍රමයටද මූලික වන්නේ පුද්ගල නිශ්‍රිත දැනුම (subjective knowledge) වේ. එය පුද්ගලයා, සමාජය අනුව වෙනස් වේ. එනිසා එය පුද්ගලික සත්‍යය හෙවත් “”personal truth” ලෙසද දැක්විය හැක. එම නිසා විවිධ කලාවන්, එකිනෙකට වෙනස් ආර්ථික ක්‍රම, ආගම්, දර්ශන එකවර පවතී (co-exist)

වාස්ත්වික දැනුම (objective knowledge) වැදගත් වන්නේ ඇයි?

විද්‍යාව වාස්ත්වික සත්‍යය (objective truth) මත පදනම් වේ. මානව ශිෂ්ටාචාරයේ දියුණුවට වාස්ත්වික සත්‍යය පදනම් වූ බව වැටහේ. ආදි මානවයාගේ සිට නූතන මිනිසා දක්වා සොබාදහම නිවැරැදිව තේරුම් ගැනීමට, උපකරණ තැනීමට
”objective truth” යොදා ගැණින.

පුද්ගල නිශ්‍රිත දැනුම (subjective knowledge) සහ වාස්ත්වික දැනුම (objective knowledge) යනු එකම කාසියේ දෙපැත්තක් වැනිය. ඕනෑම කාරණාවක මෙම ස්ථර (layers) දෙක පවතී. අපගේ අරමුණ අනුව අදාළ දැනුම පද්ධතිය යොදාගත යුතුය. අපි උදාහරණයකට මෙසේ සිතමු. මොනාලිසාගේ චිත්‍රයක් රැගෙන කලාව උගන්වන පංතියට ගියොත් එහිදී එහි ඇති කලා රසය අපට වඩා ඉස්මතු කරගත හැක. ඉහළ වින්දනයක් ලබාගත හැක. එය අප ඉතිහාස පංතියට රැගෙන ගියහොත් මොනාලීසා චිත්‍රයේ ඉතිහාසය, එහි පෞරාණික වටිනාකම දැනගත හැක. එය විද්‍යා පංතියට රැගෙන ගියොත් එහි පාට සංකලන ඇතිවෙන අයුරු, කැන්වස් රෙද්දට පාට උරාගන්නා අයුරු හෝ එය ඩිජිටල් ක්‍රමයට මුද්‍රණය කරගන්නා අයුරු ඉගෙනගත හැක. එනිසා අපගේ මූලික අරමුණ අනුව අදාළ දැනුම පද්ධතිය නුවණැතිව තෝරා ගත යුතුය.

වාස්ත්වික දැනුමෙහි මූලික ලක්ෂණ

යමක් අප නිවැරැදි යැයි කියන්නේ එය නිර්පාක්ෂික, ප්‍රඥාගෝචර ඕනෑම කෙනකුට එකඟ විය හැකි නිසාය. එනම් එය ”objectively true˜ නම් පමණි. එසේම එය අසත්‍යෙක්ෂ (falsifiable) විය යුතුය. එනම් එය වැරදි යැයි පෙන්වීමට හැකි විය යුතුය. උදාහරණයක් ලෙස “සියලු හංසයන් සුදු පැහැති” යන ප්‍රකාශය ”falsifiable˜ වේ. මන්ද යම් කෙනකුට කළු හංසයකු සොයාගැනීමෙන් එම කරුණ අසත්‍ය යැයි කීමට හැක. යමෙකු අදෘ්‍යශමාන හංසයකු ඇති බවත් ඒ බව කිසිදා කිසිවකුට එම හංසයා දැක ගනීමට නොහැකි බවත් පැවසුවහොත් එය ”falsifiable˜ නොවේ. මන්ද එය කිසිවකුට වැරදි යැයි පෙන්විය නොහැකි නිසාය. නමුත් එය පෞද්ගලික සත්‍යයක් වේ (personal truth) පෞද්ගලික සත්‍යයන් පුද්ගල දැනුමට සීමාවේ. නමුත් එමගින් ශිෂ්ටාචාරයේ භෞතික දියුණිවක් ලබාගැනීමට අපහසුය. මන්ද නිවැරැදි යැයි සැමට එකඟ විය නොහැකි නිසාය.

අනික් අතට කිසිදු උපකරණයක් සෑදීමට පුද්ගල නිශ්‍රිත දැනුම (subjective knowledge) යොදාගත නොහැක. දර්ශනය (philosophy), ආගම මතින් සෑදූ කිසිදු උපකරණයක් නැත. ගුවන්යානයකට නැඟීමට දෙවරක් නොසිතන්නේ එය පුද්ගල නිශ්‍රිත දැනුම මත පදනම් නොවන නිසාය. සරලවම බිත්තරයක් බැදගන්නටවත් දර්ශනයෙන් බැරිය. එනිසා මානව පරිණාමයේ දියුණුවට දායක වූ සියලු මෙවලම් වාස්ත්වික දැනුම (objective knowledge) මගින් ගොඩනැඟුනු දෑ වේ.

එම නිසා ස්වභාවික පරිසරයේ ක්‍රියාකාරීත්වය නිවැරැදිව දැනගැනීමට නම් වාස්ත්වික සත්‍යය (objective truth) සොයාගත යුතුය. ආදි මානවයා ගින්දරට වැද නමස්කාර කරන්නට ඇත. එය දෙවියකු යැයි සකලන්නට ඇත. නමුත් එහි වාස්ත්වික සත්‍යය (ගින්දර ඇතිවන්නේ කෙසේදැයි) සොයාගත් පසු ගින්දර යොදාගෙන ආහාර පිසින්නට ඇත. වාස්ත්වික දැනුම සහ විද්‍යාත්මක ක්‍රමය
වාස්ත්වික සත්‍යය (Objective truth) සොයාගැනීමට මානව වර්ගයා විසින් එතෙක් මෙතෙක් ගොඩනඟන ලද හොඳම ක්‍රමය “නූතන විද්‍යාත්මක ක්‍රමය”(modern scientific method) වේ. නමුත් ඊට පෙරද අප මෙවලම්, ගොඩනැඟිලි, වාරිමාර්ග පද්ධති නිපදවිය. පිරමීඩ, වෙහෙර විහාර, ආභරණ, උපකරණ අප භාවිතා කරේ නූතන විද්‍යාත්මක ක්‍රමය බිහිවීමට ඉතා අතීතයේදීය. එසේනම් නූතන විද්‍යාව ඉපැරණි තාක්ෂණික දැනුමෙන් වෙන්වන්නේ කෙසේද?

පැරණි ක්‍රමය

නූතන විද්‍යාත්මක ක්‍රමය (Modern scientific method) බිහිවීමට පෙරද අප වාස්ත්වික සත්‍යය(Objective truth) දැන ගත්තේ නිරීක්ෂණය ඔස්සේ නිගමනවලට පැමිණීමෙනි. ගස් එකට ඇතිල්ලී ගින්දර ඇතිවෙන හැටි දැක ගල් කැට අතුල්ලා ගින්දර සාදාගන්නට ඇත. ගස් කඳන් කොට උඩින් වැඩි බරක් තල්ලු කළ හැකි බව දැකීමෙන් රෝද, කරත්ත නිපදවන්නට ඇත. නමුත් මෙසේ නිරීක්ෂණ ඔස්සේ නිගමනවලට පැමිණීම නූතන විද්‍යාත්මක ක්‍රමය නොවේ. නිරීක්ෂණ/සංවේදන ඔස්සේ නිගමනවලට පැමිණීම පරිණාමය මගින් සත්ත්වයන්ට ලැබුන හැකියාවකි. ඒ ඔස්සේ තාක්ෂණය ගොඩනැඟීම අප පමණක් නොව අනෙකුත් ජීවීන්ද සිදුකරයි. වඩු කුරුල්ලා සංකීර්ණ කූඩු සාදයි. ඇතැම් සංචාරක කුරුල්ලන් හැතැක්ම දස දහස් ගණනක් පියාඹා නැවත පැමිණෙයි. මීමැස්සන් සංකීරණ ජනපද සාදයි.

නිරීක්ෂණ ඔස්සේ නිගමනවලට පැමිණෙන්නේ තර්කනය පදනම් කරගෙනය. තර්කනය නිවැරැදි දැයි බැලීමට නවැත නැවත නිරීක්ෂණ යොදාගනු ලබයි. ගෙදර සුරතල් බලු පැටියා තම ස්වාමියා හඳුනාගන්නේ නිරීක්ෂණ ඔස්සේ නිගමනයකට පැමිණීමෙනි. පසුව තම ස්වාමියාට කීකරුවෙයි. නමුත් මෙය එක රැයෙන් සිදුවෙන්නක් නොවේ. නිරීක්ෂණ නැවත නැවත ලබා ගැනීමෙන් නිගමනය තහවුරු කරගනී.

අනෙකුත් සතුන් අතරින් මිනිසාට කැපීපෙනෙන තර්කන ශක්තියක් ලැබී ඇත. එම තර්කන ශක්තිය යොදාගෙන ගොඩනඟා ගත් වාස්ත්වික දැනුම මගින් ඔවුහු ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් ගොඩනඟා ගත්තෝය. ගල් ලෙන්වලින් පිටතට පැමිණ, කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය, ගින්දර, ආර්ථික ක්‍රම, නිවාස ගොඩනැඟිලි ජනාවාස බිහිවිය. මේ සියල්ල නූතන විද්‍යාත්මක ක්‍රමය බිහිවීමට පෙර තිබුණු දැනුම වේ.
මතු සම්බන්ධයි…

ආචාර්ය ගයාන් සංජීව
ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ, ඇමෙරිකා එක්සත් ජනපදය.

advertistmentadvertistment
advertistmentadvertistment