විදුලි කප්පාදුව: වෙන අය උසාවි ගියොත් ලංවිමත් උසාවි යන්න හදයි

126

දෛනික විදුලි කප්පාදුවට එරෙහිව යම් පාර්ශ්වයක් අධිකරණය වෙත ගියහොත් වත්මන් අර්බුදකාරී තත්ත්වය සලකා බලන ලෙස ඉල්ලමින් ලංකා විදුලිබල මණ්ඩලය ද අභියාචනාවක් ගොනු කිරීමට තීරණය කර ඇත.

දැනට පවතින තත්ත්වය මත අඛණ්ඩව විදුලිය ලබාදීමට නොහැකි නිසා ලංවිම අධ්‍යක්‍ෂ මණ්ඩලය රැස්වී මෙම තීරණය ගෙන තිබේ.

දැනට රටේ පවතින විදුලි ඉල්ලුම සපුරාලීමට හැකියාවක් නොමැති නිසා අකැමැත්තෙන් වුවත් උසස් පෙළ විභාගය දිනවලත් දිගටම විදුලි කප්පාදුව සිදුවන බවද ලංවිම පාලනාධිකාරිය කියා සිටී.

උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන දරුවන් පිළිබඳ සලකා අඛණ්ඩව විදුලි බලය ලබාදීමට මුල සිටම සාකච්ඡා කළත් ඇතිවී තිබෙන බරපතල මූල්‍ය අර්බුදය නිසා අඛණ්ඩව විදුලිය ලබාදීමට නොහැකි බවද මණ්ඩලය කියා සිටී. මේ නිසා උසස් පෙළ විභාගය පැවැත්වෙන 17 වැනිදා දක්වාම දෛනික විදුලි කප්පාදුව සිදුවන බවද පාලනාධිකාරිය කියා සිටී.

විභාගය පැවැත්වෙන දිනවල විදුලිය ලබාදීමට රුපියල් කෝටි 410 (බිලියන 4.1) අවශ්‍ය බව ගණන් බලා තිබිණි. මේ වන විට රාජ්‍ය බැංකු දෙක ණය ලබාදීම ප්‍රතික්‍ෂේප කර ඇත. බලාගාර සඳහා ලබාගත් රුපියල් කෝටි 10,800 (බිලියන 108) ක හිඟ මුදලද තෙල් සංස්ථාව ඉල්ලා ඇති අතර තවදුරටත් බලාගාර සඳහා ඉන්ධන ණයට දීමද ප්‍රතික්‍ෂේප කර ඇත.

මේ නිසා විදුලි කප්පාදුව අඛණ්ඩව සිදුකිරීම හැර විකල්පයක් නැතැයි ලංවිම පාලනාධිකාරිය කියා සිටී.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment