විධායක ජනාධිපති ක්‍රමය කොයි තරම් ඒකාධිපති ද කියා ජනපතිගේ කතාවෙන් රටටම පෙනුණා

98

මේක තක්කඩි දේශපාලනයක් – ඩලස් කියයි

ජනතා මතයට හිස නොනවමින්, රාජ්‍ය සහ ජනතාව හාස්‍යයට ලක් කරමින් ජනාධිපතිවරයා අනීතික තක්කඩි දේශපාලන ඉලක්කයන් කරා ගමන් කරමින් සිටින්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (24 දා) පැවසීය.

කොළඹ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා විසින් ජනවාරි 30 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම මාර්තු 09 දා පස්වරු 4.00 දක්වා පැවැත්වෙන බව නිවේදනය කරනු ලැබිණ. මෙය බොරුවක් දැයි අලහප්පෙරුම මහතා ප්‍රශ්න කළේය. නිදහස් ජනතා සන්ධානය විසින් ඊයේ (24 දා) එම කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

වැඩිදුරටත් ඒ මහතා මෙසේ ද කීය.

රටේ පවතින ආර්ථික දුෂ්කරතාවන් සහ ජනතාව මුහුණ දෙන අනේක විධ දුක් කම්කටොළු ගැන අවබෝධයක් නැතිව නෙවෙයි අපි මැතිවරණය ගැන කතා කරන්නේ. ජනාධිපතිවරයා විවිධ පක්ෂවල නායකයන්ට චෝදනා කළා මැතිවරණය කල් දාන්න කිව්වා කියලා. නිදහස් ජනතා සන්ධානයේ හෝ නිදහස් ජනතා සභාවේ කිසිවෙක් එම ඉල්ලීම කරලා නැහැ.

ජනාධිපතිවරයා ඡන්දයක් නැහැ කියනවා නම් ඇයි කොළඹ මහා නගර සභාවට අලියා ලකුණෙන් නාම යෝජනා දුන්නේ. අපිට පේන විදියට රනිල් ජනාධිපතිතුමා ඉන්නේ දැනුවත්ව තක්කඩි දේශපාලන ගමනක. විධායක ජනාධිපති ක්‍රමය කොයි තරම් ඒකාධිපති ද කොයි තරම් අත්තනෝමතික ද කියලා ජනාධිපතිවරයාගේ කතාවෙන් පෙනුණා.

ජනතාවගේ මතවාදයට ඉඩ නොතිබුණොත් ඒකාධිපතිවාදය අනීතික තත්ත්වය මතුවීම අනිවාර්යයි. ඒ නිසා අපි විපක්ෂ කණ්ඩායම් ලෙස ජනතා විරෝධී පාලනයකට එරෙහිව පෙළ ගැසීම වගකීමක් සේ සැලකිය යුතු බව හැමෝම අවබෝධ කරගත යුතුයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment