විශ්වය තුළ සක්වල නිර්මාණය හා ලෝක ධාතු සත්‍යය

214

සමස්ත ලෝක ධාතුව තුළ සක්වලවල් අනන්තය. අප්‍රමාණය. ඒත් සක්වලක් යනු එක් ලෝක ධාතුවක් වන අතර සියලු සත්වයන් උපදිනා තල 31 න් යුත් සීමාවද එක් සක්වලක්ම වේ. එසේම එක සූර්යයෙකුගේ හා චන්ද්‍රයෙකුගේ දීප්තියට නතුවන ප්‍රදේශයද එක් සක්වලක් ලෙසම දැක්වේ. මේ අයුරින් එක් සක්වලක් විග්‍රහ කරනුවස් විවිධ අර්ථ කථන ගෙනහැර පෑ හැක. කෙසේ නමුත් සක්වලවල් තුනක් මධ්‍යයේ හිරු සඳු ආදීන්ගෙන් ආලෝකය නොලබන ලෝකෝත්තරික නම් නරකයන් පිහිටා ඇති බවද බුදු දහමේ සඳහන්ය.

විශ්වය තුළ ලෝක ධාතු හෙවත් සක්වලවල් අනන්ත වූ නිසාවෙන් සූර්යයෝද චන්ද්‍රයෝද අනන්තය. අප්‍රමාණය. විශේෂයෙන් හැම සක්වලකම සැලැස්මේ ව්‍යුහය සැලකීමේදී ඊට පසින් හා පාෂණයෙන් නිර්මාණය වූ කිරණ ස්ථරයක්ද එම ස්ථරයට යටින් ජලයෙන් නිර්මාණය වූ ජල ස්ථරයක්ද ඉහත කී පසින් නිර්මිත ස්ථරයට ඉහළින් වාත ස්ථරයක්ද ඊටත් ඉහළින් අජටාකාශයද ලෙස ස්ථිර පිහිටීමක් දැකිය හැක. අප ජීවත් වන ලෝක ධාතුව සලකන ලද ජල ස්ථර මත ගිලී ඝන පස් ස්ථරය ජලයෙන් ඉහළට මතුවී යන ලෙස මහ පොළව පිහිටා ඇත. තවද පොතපතේ සඳහන් ලෙසට සමස්ත සක්වල වටා සක්වල ගල්පවුර පිහිටන බවත් සක්වලෙහි මැද මහා මේරු නම් පර්වතය පිහිටා ඇති බවත් සඳහන්ය. එසේම එම මහා මේරුව වටා යුගන්ධර, ඊශ්ධර, කර්වික, ශුදර්ශන, නේමින්ධර, විනතක හා අශ්වකර්ණ යන සප්ත කූට පර්වත චක්‍රාකාරව පිහිටා ඇති අතර එම සප්ත කූට පර්වත අතර සිදන්ත, ඊශ්ධර, කර්වික, සුදර්ශන, නේමින්දර, විනතක හා ආශ්වකරණ යන නමින් මහා සාගර 7 ක්ද වේ. කෙසේ නමුත් ඉහත සඳහන් සප්ත කූට පර්වතයන්ගෙන් අශ්වකර්ණ නම් පර්වතය සිට සක්වල ගල දක්වා කොටසේ වූ ජල පොළොවේ උතුරු දිවයින, පූර්ව විදේහය, ජම්බුද්වීපය හා අතර ගෝයානය නම් ද්වීප සතරකි. මින් අප ජීවත් වනුයේ ජම්බුද්වීපයේය. එනම් එය අප ජීවත්වන පෘතුවියයි.

බෙරයක හැඩති යයි සඳහන් මහාමේරුව වටා හැඩය අටපට්ටම්ය. එම අටපට්ටම් වූ දිශා විවිධ වර්ණයන්ගෙන් යුතුය. ඒ උතුරු දිශාව රන්වන් පැහැයෙන්ද ඊසාන දිශාව සුදු රත් පැහැයෙන්ද නැගෙනහිර දිශාව රිදී පැහැයෙන්ද, ගිණිකොන දිශාව සුදු නිල් පැහැයෙන්ද, දකුණු දිශාව ඉඳුනිල් පැහැයෙන්ද, නිරිත දිශාව රතු නිල් පැහැයෙන්ද, බටහිර දිශාව රතු පබළු පැහැයෙන්ද, වයඹ දිශාව රත්රන් පැහැයෙන්ද යනාදී වශයෙනි. මහා මේරුවේ එහි ඒ ඒ දිශාවේ පැහැය අනුව ඒ ඒ දෙසින් වූ ආකාශයද මහා සාගරයද එම වර්ණයට ගනී. ඒ අනුව අප ජීවත්වන පෘතුවියත්, ආකාශය හා මහා සාගරයත් කඳු පර්වත ආදියත් නිල් පැහැයෙන් බබලනුයේ මහා මේරු පර්වතයේ දකුණු දිශාවට අදාළව පිහිටි ඉන්දු නීල වර්ණයට අනුවය. ස්වර්ණ සාගරයේ වූ පබලු මුහුද, නිල් මුහුද හා කිරි මුහුද යන මුහුදුවලින් පහළ වූ ත්‍රි කූට නම්වූ මහා පර්වත තුනක් මත මහමේරුව පිහිටා ඇත. මෙම මහාමේරුව යට අසුර පුරය පිහිටා ඇතැයි සඳහන්ය. එසේම මහාමේරුවේ මුදුන් කෙළවර ඉහළින් සදෙව්ලොව පිහිටා ඇත. සදෙව් ලොවෙහි මිනිස් ලොව මෙන් පැය 12 ක් වැනි කෙටි කාලයකින් දිවා රාත්‍රි ඇති නොවේ. ඊට හේතු වන්නේ සූර්යයාද චන්ද්‍රයාද න්‍යක්‍ෂත්‍ර තාරකා ප්‍රමුඛ අනෙක් සියලු ආකාශ වස්තූන්ද මහාමේරුව වටා හමා යන චණ්ඩ වායු ධාරාවන් හා එක්ව ගමන් කිරීමයි. මෙනිසා සදෙව්ලොව පිහිටීම අනුව මිනිස් ලොවට සාපේක්‍ෂව වසර ගණනාවකින් වත් දිවා රාත්‍රි ඇති නොවේ.

කෙසේ නමුත් මහා සමුද්‍රයේ අර්ධයක් ගිලී අර්ධයක් මතුව පවතින මහාමේරුව සිදන්ත සාගරය මධ්‍යයේ පිහිටා ඇත. මහාමේරුවට දකුණින් මහා සාගරයේ සක්වල සතර දිශාවෙහි උතුරු කුරු දිවයින, පූර්ව විදේහය, අපරගෝයානය හා ජම්බුද්වීපය යන නමින් භූමි පිහිටා ඇත. මෙම සතර මහාද්වීපයන්ටම උතුර වන්නේද මහාමේරු පර්වතයම වේ. මහාමේරුව සතු චුම්බක ශක්තිය නිසාවෙන් ගොඩනැඟී ඇති ගරුත්ව බලය කරණ කොට හිරු සඳු මෙන්ම ග්‍රහ කාරකාදිය ද මහා වායුව සමග නිශ්චිත ගමනක යෙදේ. මෙනිසා අක්ත සතර මහා ද්වීපයන්ටම දිවා රාත්‍රි ඇතිවේ. තවද ලොව ඇති සියලු ඝන වස්තූන් ඇද ගැනීමේ ගුරුත්ව බලයක් මහාමේරුව සතුය. කෙසේ වෙතත් මහාමේරුව වටා හමන චන්ඩ මාරුතයට මොනම ලෙසකින්වත් මහාමේරුව සෙලවිය නොහැක. ඉහතදී සඳහන් කළ මහාමේරුවේ පවතින චුම්බක ශක්තිය නිසාවෙන් සංකූවල කටු උතුරටම යොමු වන බවද දත යුතුය.

සත්කුළුපව් අතරින් මහාමේරුවෙන් අර්ධයක් පමණ උස්වූ යුගන්ධර පර්වතයට ඉහළින් වූ සූර්යයා ඉහත සඳහන් වූ සතර මහාද්වීපයන්හී මධ්‍යයට පමණක් දිවා රාත්‍රි කාල පරාස සමව ලබාදේ.

සමස්ත ලෝක ධාතුවෙහි වූ අනන්ත සක්වල අතුරින් අප ජීවත්වන සක්වල ඉතාම සුවිශේෂීය. ඊට හේතුව වනුයේ සම්මා සම්බුදුවරු, පසේ බුදුවරු, සක්විති රජවරු වැනි උතුමන් මෙම සක්වලෙහි පමණක් පහළ වීමය. එනිසා මෙම සක්වල මඟුල් සක්වල යන නමින්ද හඳුන්වනු ලබයි. විශ්වය තුළ අනන්ත අප්‍රමාණ සක්වලවල් හෙවත් ලෝක ධාතු නොයෙක් ලෙසට වර්ග කෙරෙයි. සනස්සී චූලනිකා ලෝක ධාතුව, ද්වි සස්සී මජ්ජිමිකා ලෝක ධාතුව, ත්‍රී සහස්සී මහා සහස්සී ලෝකු ධාතුව හා දස සහස්සී ලෝක ධාතුව ඒ වර්ග කිරීම් අතර ප්‍රධානය.

ඒත් ලෝක ධාතුවකට එක් ඉරක් එක් සඳක් සදෙව් ලොවක් ආදී ලෙස වේ. මංගල සක්වලත් සමග ඉහත සඳහන් වූ ආකාරයේ විශ්වයේ පවතින්නා වූ ලෝක ධාතු 1000 ක් ගත් විට එය සහස්සී චූලනිකා ලෝක ධාතුව ලෙස හැඳින්වේ. ඒ අනුව සහස්සී ලෝක ධාතුවෙහි හිරු, සඳු, සදෙව් ලොව ආදිය දහස බැගින් වේ. මෙම සහස්සී චූලනිකා ලෝක ධාතුව පමණක් බුද්ධ ශ්‍රාවකයන්ට විෂය වේ. එසේම මඟුල් සක්වලත් සමග එකට ගත් කල නිර්මාණය වන දස සහස්සී ලෝකු ධාතුව බුදුන් වහන්සේගේ උප්පත්තියට ක්‍ෂේත්‍ර වේ. ජාති ක්‍ෂේත්‍රය ලෙස හඳුන්වන එම දස සහස්සී ලෝක ධාතුව බුදුන් වහන්සේට පමණක් විෂය වේ. ධර්මයේ සඳහන් ලෙසට සම්මා සම්බුදුවරයෙකුගේ උපතේදී කම්පා වන්නේ මෙම ලෝකු ධාතුවයි. (1000×10=10,000) එසේම මඟුල් සක්වලත් සමග ලෝක ධාතු දශ ලක්‍ෂයක් ගත් විට එය ද්වි සහස්සී මජ්ජිමිකා ලෝක ධාතුව නම් වේ. (1,000×1,000=1,000,000) මෙම ද්වි සහස්සී මජ්ජිමිකා ලෝක ධාතුව තුළද පෙර සඳහන් කළ ලෙසටම හිරු, සඳු, සදෙව් ලොව ආදියද දශලක්‍ෂය බැගින් පිහිටා ඇති අතර මෙම ද්වි සහස්සී මජ්ජිමිකා ලෝක ධාතුව බුදුන් වහන්සේට පමණක් විෂය වේ.

මඟුල් සක්වලත් සමග ලෝක ධාතු කෝටි සියයක් ගත්විට එනම් (1,000×1,000×1,000=1,000,000,000) එය ශ්‍රී සහස්සී මහා සහස්සී ලෝක ධාතුව නම් වේ. එහි හිරු, සඳු, සදෙව්ලොව ආදිය කෝටි සියය බැගින් වේ. මෙම ත්‍රී සහස්සී මහා සහස්සී ලෝක ධාතුවද බුදුන් වහන්සේට පමණක් විෂය වේ. එසේම මඟුල් සක්වලත් සමග ලෝක ධාතු කෝටි ලක්‍ෂයක් ගත් විට එය බුදුන් වහන්සේගේ බුද්ධ ආඥාවට ක්‍ෂේත්‍රවේ. හිරු, සඳු, සදෙව්ලොව ආදිය කෝටි ලක්‍ෂය බැගින් පවතිනා මෙම ලෝක ධාතුවද බුදුන් වහන්සේට පමණක් විෂය වේ. විශේෂයෙන් බුදුන් වහන්සේ දේශනා කළ රතන සූත්‍රය, ධජග්ග සූත්‍රය, කඳ පිරිත, මෝර පිරිත හා ආටානාටිය සූත්‍ර දේශනාව ආදියෙහි වූ අසීමිත ආනුභාවය මෙම කෝටි ලක්‍ෂයක් ලෝක ධාතුව පුරා නොඅඩුව විසිරී පැතිරී පවතී. (1,1000×1,000×1,000×1,000=1,000,000,000) කරුණු කාරණා ඉහත ආකාර මුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ විෂය ක්‍ෂේත්‍රයට අනන්ත අප්‍රමාණ සක්වලවල් සියල්ල අයත්ය. ඒ සියලු සක්වලයන්ට ආලෝක අන්ධකාරාදී ප්‍රාතිහාර්ය දැක්වීමට සියලු බුදුවරු සමත්ය. බුදු දහමේ සඳහන් අචින්තය වූ ලෝක විෂයට අදාළ ලෝක ධාතු සම්බන්ධවත් මහාමේරුව සම්බන්ධවත් සමස්ත විශ්වය තුළ සක්වල නිර්මාණය සම්බන්ධවත් කරුණු කාරණා බොහෝය. ඔබ විශ්වය සම්බන්ධවත් ලෝක ධාතු සම්බන්ධවත් යම් පමණ හෝ දැනුවත් කිරීමේ අරමුණින් මා ඒ හා සබැඳි ඉතා ස්වල්ප කරුණු ප්‍රමාණයක් මේ කෙටි ලිපියට කැටි කෙරුවෙමි. මෙම ලිපිය අචල වූ ශ්‍රද්ධාවෙන්ද යුතුව සංයමයෙන් කියවූ ඔබ මෝහාන්දකාර දුරලා මිථ්‍යා දෘෂ්ටියෙන් තොරව සම්‍යක් දෘෂ්ඨියෙහි පිහිටා ‘ජෝති ජෝති පරායනෝ’ යන බුදු වදන සනාථ කරමින් එළියෙන් එළියටම ගොස් සනාථන වූ විශ්ව සත්‍යය දැන කිසිදා සතර අපාගතව දුගතිගාමී නොවී කාම සුගතියේම ඉපිද කුසල් දහම් වඩා සසර ගමන කෙටිකර ගැනීමට උත්සුක වන්න. එය එසේම ඉෂ්ඨ සිද්ධ වේවා.

‘සබ්බේ සත්තා භවන්තු සුඛි තත්තා’
‘සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානු සාසනං’

විශ්වය තුළ සක්වල නිර්මාණය හා ලෝක ධාතු සත්‍යය

ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
දු. අංකය 071-9282653

advertistmentadvertistment
advertistmentadvertistment