ශ්‍රී දළදා පෙරහැරේ පරම්පරා තුනක් ශබ්ද පූජාවට ගිය අසුරනාද පරපුර සොයා රිදීගමට

222

රුවන්මැලි සෑයේ තේවාවට ශබ්ද පූජාව දුන්නෙත් අසුරනාද පරපුරයි

දරුවෙක් ඉපදුනාම කොහොඹ, ඇහැල හෝ වරකා ගහක් හිටවීම පරම්පරාවේ චාරිත්‍රයක්.

චාරිත්‍රානුකූලව අපේ නිෂ්පාදන ඉපැරණි ක්‍රමවේදයන් භාවිත කරමින් වාදන භාණ්ඩ සකස් කර ගැනීමේ කටයුතු සිදු කරනවා.

තම්මැට්ටම් හදාගන්න අතීතයේ භාවිත කළ පැරණි ක්‍රමවේද අනුව මුලින්ම අවශ්‍ය වන ගහ කපා ගන්නේ ද සුබ නැකතකට.

තම්මැට්ටම් ගගහ පෙරහැරේ නර්තනයේ යෙදෙන්නේ අසුර නාද පරම්පරාව විතරයි.

රුවන්මැලි මහා සෑයේ පළමු ශබ්ද පූජාව අසුරනාද පරම්පරාවෙන්

සෙංකඩගල අහස සිසාරා නැගෙන බෙර දවුල් හඬ හදවතට දනවන්නේ අප්‍රමාණ වූ බැතියකි. ආගමික හැඟීමකි. ශබ්දය පූජාවේ හා ආලෝක පූජාව සමගින් විචිත්‍රාංග රැසක් මතින් සිංහල දේශයේ උරුමය ලොවට කියාපාන සෙන්කඩගල ශ්‍රී දළදා පෙරහැර සියලු ලෝ සතුන්ගේ නෙත් සිත් බැතියෙන් පිනවාලන්නා වූ මහා අනර්ඝ පුණ්‍ය කාර්යයකි. සංස්කෘතිකාංගයකි. අතීත රාජත්වයේ සිට අද දක්වාම නොනැසී පවතින අපගේ උරුමය ලෝ සතහට කියාපාමින් සෑම වර්ෂයකම හෙළයේ මහා මංගල්‍යය ලෙස ශ්‍රී දළදා පෙරහැර චාරිත්‍රානුකූලව පැවැත්වේ.

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍ය කියන්නේ සකල ලෝකවාසී බෞද්ධයන්ගේ උතුම්ම වූ භක්තියට හා ජනාදරයට පත්වූ ඉපැරණි උරුමයකි. ඈත අතීතයේ සිට පුරාණ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරමින් නොනැසී අද දක්වාම ඉතා සාර්ථකව හා ගෞරවාන්විතව ශ්‍රී දළදා පෙරහැර නැරඹීමට දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන්නේ අති මහත් වූ භක්තියකිනි.

අතීත රජ දවස සිට සෙංකඩගල ඇසළ මංගල්‍යයට නැට්ටුවන් බෙරකරුවන් ලෙසින් එක් වන්නේ සාම්ප්‍රදායික නර්තන හා වාදන ගුරුකුලවලට සීමා වූවන්ය. පුරාණ චාරිත්‍ර අනුව මේ සිරිත ඔවුන්ගේ පරම්පරාගතව පැවත එනු ලබන චාරිත්‍රයක් වේ. මොවුන්ගේ ශිල්පීය දක්ෂතා කොපමණ ද කිවහොත් එවකට විසූ රජවරුන් විසින් මොවුන් හට තාන්න මාන්න නින්දගම් පවා ලබාදී ඇති බව ඉතිහාසයේ සඳහන්ව පවතී. පරම්පරා ගණනාවක් ශ්‍රී දළදා පෙරහැරට සම්බන්ධ වෙමින් පාරම්පරික උරුමය රැක ගනිමින් අදටත් තම යුතුකම ගාම්භීරත්වයෙන් ඉටු කරන විසල් පරපුරක උරුමය සොයා අපි රිදීගමට ගියෙමු.

“සුජිත් ආනන්ද වර්ණසූරිය අසුරනාද” අපට මුණ ගැසෙන්නේ ඒ ගමනේදීය. හෙතෙම, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසත්, සිබා සරසවියේ කථිකාචාර්යවරයකු ලෙසත්, ජාතික හෙළ කලා සංගමයේ ජාතික සංවිධායක ලෙසත්, වයඹ කලා සංගමයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසත්, අසුරනාද කලා පදනම නිර්මාතෘවරයා ලෙසත් කලා කෙත පෝෂණය කිරීම වෙනුවෙන් වෙරදරන අපූරු චරිතයකි.

ඉතිහාසගත පරපුරක කතාව ඔහු පෙළ ගස්වන්නේ මෙලෙසය.

“අපේ පරම්පරාව අසුරනාද පරපුර. එදා දුටුගැමුණු රජතුමා මහා සෑය රුවන්මැලිසෑය නිමකරද්දී,

රෝගාබාධව හිඳ තිබෙනවා. දුටුගැමුණු රජතුමා වෙළෙඳුන් විවිධ ප්‍රදේශවලට යවා වෙළෙඳාම් කරගෙන මිල මුදල් උපයාගෙන ඇවිත් රටේ බෞද්ධයන්ට වැඳුම් පිදුම් කරන රුවන්මැලිසෑයේ කොත නිරාවරණය කරන්න කටයුතු කරලා තියෙනවා. මේ මහා සෑය අද රුවන්මැලි සෑය හදන්න එදා රිදී හම්බ වුණේ රිදීගම රිදී විහාරයේ තියෙන ස්ථානයෙන්. මහා සෑයේ කටයුතු නිම කරන්න මෙලෙස රිදී හමු වුණා වගේම මහා සෑය නිම කරන්න ශබ්ද පූජා පවත්වනවා. මේ සඳහා මේ ශබ්ද පූජා පවත්වන්න කොටසක් ඉන්දියාවෙන් ගෙනාවා කියලයි අතීතයේ සඳහන් වෙන්නේ. ඒ රහතන් වහන්සේලා වැඩම කරන විට.

මේ මහා සෑය හදලා ඉවරවෙලා එහි කටයුතු නිම කරලා ඊට කෙළෙහිගුණ දැක්වීමක් හැටියටයි රිදී හමුවූ ස්ථානයේ රිදී විහාරය කරවන්නේ. ඒ රිදී ගොබය උඩයි මහා රන් පිළිම වහන්සේ අද වැඩ ඉන්නේ. අද වැඳුම් පිදුම් කරන ඓතිහාසික රිදී විහාරය ලෙස නම් වෙලා තියෙනවා මේක.

ඒ වගේම මේ රිදී විහාරයට නින්දගම් දෙන්න දුටුගැමුණු රජතුමාගේ රාජ අණ පරිදි ලෝකඩ තම්මැට්ටමක් නිර්මාණය කරලා ලෝකඩ තම්මැට්ටම වාදනය කරලා තියෙනවා රිදී විහාරයේ ඉඳලා. ඒ හඬ ඇහෙන හතර දිග්භාගේම සම්පූර්ණ අයිතිවාසිකම රිදී විහාරයට දීලා තියෙනවා. අදටත් එය එහෙමමයි. එතනදි රිදී විහාරයේ ඉඳල ඒ තම්මට්ටම වාදනය කළේ මගේ පියායි. විශ්ව කලාකීර්ති නර්තන හා වාද්‍ය කලා විශාරද, ජනප්‍රසාදය ජනාධිපති සම්මානලාභී ඒ. පී. අසුර නාද ගාන්ධර්ව යායි මාගේ පියා. පියා අද ජීවතුන් අතර නෑ. මගේ පරපුර මගේ පියාණන් වහන්සේගෙන් ආරම්භ වුණාට පස්සේ අසුරනාද පරපුර ආතත, විතත, ගණය, සුසිලය යන පංචතූර්ය නාද ආරම්භ කරමින් සම්පූර්ණ නායකත්වය අරගෙන කටයුතු කිරීම ආරම්භ වෙනවා. ඔන්න ඔහොමයි අපේ පරම්පරාව මේ කලාවත් එක්ක බද්ධ වුණේ” නූතනයේ ඒ පරපුරේ නායකත්වය දරන සජිත් ආනන්ද කියන්නේය.

“බුදුන් වෙනුවෙන් ශබ්ද පූජා කරන්නේ පංච තූර්ය නාදයෙන්. ආතත, විතත, ගණය, සුසීලය යන මේවායින්. විතතය කියන්නේ තම්මැට්ටමට. ඉගෙන ගන්න බොහොම අමාරුයි. අපට තියෙන අනන්‍යතාව තමයි මුළු මහත් වූ ශ්‍රී ලංකාදීපයේ විතත වාද්‍ය භාණ්ඩය වාදනයෙන් ප්‍රමුඛත්වය ගන්නේ අසුරන පරපුරවීම. හැබැයි තනි කණ්ඩායමකට තරග කරන්න බෑනේ තවත් කණ්ඩායම් අවශ්‍ය වෙනවා. ලංකාවෙන්ම තෝරලා හොයල ගන්නකොට අසුරානාද පරම්පරාවේ තම්මැට්ටමත් එක්ක යකාවෙල පරම්පරාව තමයි ඒ කාලෙ ඉඳල තියෙන්නෙ තරගෙට. සෙදරමන් මහත්මයාගේ ගුරුතුමාගේ පොත් පත් වල ඒ බව සඳහන් වෙනවා. ඒ අනුව ලංකාවේ තම්මැට්ටම් ශිල්පයෙන් අසුර නාද පරපුර හා යකාවෙල පරම්පරාව තමයි ප්‍රමුඛ වෙලා තියෙන්නේ. ඒ ආකාරයෙන් තමා අපේ පරම්පරාව ක්‍රමයෙන් බිහි වෙන්නේ” ඔහු කියන්නේ ගෞරව පෙරදැරිවය.

මහනුවර ශ්‍රී දළදා පෙරහැරේ අතීත තොරතුරු සමගින් මේ අපූරු ශිල්පියා ආසුරානාද පරපුරේ ඉතිහාසය හා බැඳී චාරිත්‍ර වාරිත්‍ර බොහොමයක් ගැන පැහැදිලි කරන්නේය.

“ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැරේ මම නටන්න පටන් ගත්තේ 1988 ඉඳලා. නටන්න, ගයන්න, වයන්න, බෙර වාදනය වෙනුවෙන් සම්බන්ධ වුණේ. අපි දළඳා හාමුදුරුවන්ට ගැටුම්වලින් ගායන වලින් ඒ වගේම තම්මැට්ටම්, දවුල් බෙර ආදියෙන් පූජා පවත්වන අය. බෙර කණ්ඩායම්, නැටුම් කණ්ඩායම් ලෙස පෙරහැර චාරිත්‍රයේ අංග පැවතියත් තම්මැට්ටම් ශිල්පීන්ගේ දක්ෂතා වෙනම ප්‍රදර්ශනය කළ කණ්ඩායමක් අතීතයේ සිට පෙරහැර අංගයක් ලෙස පැවතියේ නෑ. ලංකාවේ බිහිවෙලා තිබුණෙ නෑ අපේ මහත්තයෝ. තම්මැට්ටම කියන විතත වාදන කණ්ඩායමක් නර්තන කණ්ඩායමක් පෙරහැර අංගයක් ලෙස එකතු වන්නේ වර්තමාන දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමා වන ප්‍රදීප් නිලංග දෑල නිලමෙතුමාගේ සංක්‍රාන්තියෙන් පස්සෙ යි. මගේ තාත්තා වෙන අසුර නාද ගාන්ධර්වයාගෙන් අදහස් අරගෙන ප්‍රදීප් නිලංග දියවඩන නිලමේතුමාගේ මගපෙන්වීම යටතේ ශබ්ද පූජාවක් විදියට බොහෝම ගෞරවයෙන් මගේ තාත්තා ඒ නිලමේතුමාගේ ආරාධනය පිළිගෙන තම්මැට්ටම් කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා පෙරහැර අංගයක් ලෙස. එදා මෙදා තුර ‘පෙරහැරට එකතු නොවූ අංගයක් මේක. නමුත් තම්මැට්ටම්, දවුල් පෙරහැරේ වාදනය වෙනවා. දවුල වාදනය වෙනවා ශ්‍රී දළදා මාළිගාවේ තේවා කණ්ඩායමෙන්, තම්මැට්ටම් වාදනය වෙනවා අසුර නාද පරම්පරාවෙන්. මේ චාරිත්‍රය එදා පටන් අද දක්වා නොනැසී චාරිත්‍ර අංගයක් ලෙස එක්වී තියෙනවා. අපිට අදටත් රිදීවිහාරය අනන්‍යතාව තියෙනවා මහත්තයෝ. මල්වතු මහාවිහාරය මහාවංශික විහාරවලින් ශ්‍රී දළදා මාලිගාවේ තියෙන ප්‍රධානම පන්සල. ඒකේ ප්‍රධානම පන්සල රිදීවිහාරය. එතකොට මෙන්න මේ සම්බන්ධයෙන් තමා අතීතයේ සිට අපි දළදා මාලිගාව හා සම්බන්ධ වෙන්නේ”

තම්මැට්ටම් වාදනයේ අපූර්වත්වය

ශ්‍රී දළදා පෙරහැරේ පරම්පරා තුනක් ශබ්ද පූජාවට ගිය අසුරනාද පරපුර සොයා රිදීගමට

“මේ තම්මැට්ටම් ගැහිල්ල හරි අමාරු කාර්යයක් මහත්තයා. හේතුව මට්ටම බැඳගෙන ඉනේ බැඳගෙන නර්තනය කරන්න බෑ. ඒක අමාරු කාර්යයක්. අපේ තාත්තට ලොකු හැකියාවක් තිබුණා මේක කරන්න. අපිට පරම්පරාවෙන් ම ඒ ජවය උරුම වූ දෙයක්. තාත්තගේගෙන් පටන්ගෙන අපි අද දක්වා මේක රැකගෙන අරගෙන යනව බොහොම ගෞරවයෙන් පුද පූජාවලට. අද ශබ්ද පූජාව කියන්නෙ බුදුන් වෙනුවෙන් කරන්න තියෙන පූජාවලින් එකක්. ඒක අපි පරම්පරාවක් විදිහට ඉතා ගෞරවයෙන් ඉටු කරනවා.”

මෙවර දළදා පෙරහැරට මේ අපූරු අසුර නාද පරපුරේ නායකත්වය දරන සුජිත් ආනන්ද මහතා එක් වන්නේ 36 වෙනි වර්ෂය ලෙසයි. තිස්පස් අවුරුද්දක් දළදා පෙරහැරෙහි වාදනය නර්තනය ඉටු කළ මේ අපූරු ශිල්පියා සම්මාන විසිදෙකක් ලබා ගැනීමට ද සමත් වී ඇත.

“මේ සම්මාන නිකන් දෙන්නෙ නෑනේ. දක්ෂතාව විනිශ්චය කරලයි මේවා දෙන්නෙ. ඒකට වෙනම විනිශ්චයේ කණ්ඩායමක් ඉන්නවා. මෙහිදී නැගී එන, කුසලතා, විශිෂ්ට, අතිවිශිෂ්ට යනුවෙන් වර්ග කරලා සම්මාන ලබා දෙනවා. ඒ

වගේම ජීවිතේට එක් වතාවක් පමණක් ලබාදෙන සම්මානයකුත් තියෙනවා. මම ඒකත් අරගෙන තියෙනවායි ” ඔහු පවසන්නේ නිහතමානීවය.

අසුර නාද පරපුරේ අනන්‍යතාව ද අපූරුය.

“අපේ පරම්පරාවට දරුවෙක් ඉපදුනාම ඇහැළ ගහක්, කොහොඹ ගහක්, කොස් ගහක් වගේ එකක් අපි හිටවනව. ඒ තම්මැට්ටමක් හදනවා උඹ වෙනුවෙන් කියලා. ඒක තමා අපේ තියෙන අනන්‍යතාව. හැබැයි එයාට ඒ තම්මට්ටම හදාගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් කවදා හෝ ඔහු පරම්පරාවේ ගුරුවරයෙක් වූ වෙලාවේ හරි ඒකෙන් තම්මැට්ටමක් හදලා දරුවන්ට මේ තමන් ඉගෙන ගන්න ශාස්ත්‍රය කලාව වෙනුවෙන් පාරම්පරික චාරිත්‍රය ඉටු කරන්න අවස්ථාවක් ලබාදීම වෙනුවෙනුයි මේ ගහ හිටුවීම පාරම්පරික චාරිත්‍රයක් විදිහට අපි සිදු කරන්නේ.

ඒ වගේම අපේ පරම්පරාවට තියෙනවා රිදී විහාරයේ ලෝකඩ තම්මැට්ටම වාදනය කරපු කඩිප්පු දෙක. එයට සම්බන්ධ වූ තාලම්පොට. ඉතින් එදා ඉඳලා අද දක්වාම බලපුවාම අපි රැකගෙන ආපු දේවල් ගොඩාක් තියෙනවා. විශේෂයෙන් ශ්‍රී දළදා පෙරහැරේ රන්දෝලි පෙරහැර දිනවලදී මම ඒ කඩිප්පුව මගේ තම්මැට්ටමේ බැඳගෙන තමයි වාදන කරන්නේ. මගේ ගෙදර තියන හැම වාද්‍ය භාණ්ඩයක්ම අවුරුදු සීයට වඩා පැරණි ඒවා. කිරි අත්තා වාදනය කරපු තම්මැට්ටම, තාත්තා වාදනය කරපු එක. හැබැයි දැන් මං වාදනය කරන්නේ ඒවා. මේවා දළදා හාමුදුරුවන්ට පූජා කරලා තියෙන්නේ. දළදා හාමුදුරුවන්ට පූජා වේවා කියලයි අපි ශබ්ද පූජාව පවත්වන්නේ” දළදාව හා බැඳුනු මේ අනන්‍යතාව අධ්‍යනය කළ යුත්තකි. මේ අපූර්වත්වය එතෙකින් අවසන් නොවේ.

ශ්‍රී දළදා පෙරහැරේ පරම්පරා තුනක් ශබ්ද පූජාවට ගිය අසුරනාද පරපුර සොයා රිදීගමට

“ඒ වගේම අපි පේවෙනවා තුන්මාසයක්. තම්මැට්ටම කටයුතු හදාගන්න ඕන. ඒ වගේම දින දහයක් නටලා ඉවර වෙනකොට අපිට ඉහෙන් බහින රෝගයක් හෙම්බිරිස්සාවක් උණක් කිසි දෙයක් හැදිලා නෑ මේ වෙනකන්. හැදෙන්නෙත් නෑ. අසූ තුන් කෝටියක් දෙවිවරු අපේ ශබ්ද පූජාව ලබනවා. ඉතින් අපි කොහොමද රෝගීන් වෙන්නේ රෝග හැදෙන්නේ. එක හා සමානව අපි දවස් දහයම නටනවා වාදනය කරනවා. හැබැයි නටන අය නටනවා විතරයි. ගහන අය ගහනවා විතරයි පෙරහැරේ කරන්නේ. හැබැයි මම ගගහ නටන්නේ.” එය අසුර නාද පරම්පරාවට පමණක් උරුම වූවකි.

පවුලේ ආභාෂයෙන් උරුම වූ කලාව එදා තම පියා පමණක් රටට දායාද කළ ද අද වන විට පවුලේ ම සිවු දෙනකු දායාද කරන බව ඔහු අපට කීවේය. ඒ අනුව දළදා පෙරහැරේ තම පුතා වන මහීෂ පින්සර වර්ණසූරිය අසුර නාද, සහෝදර පරම්පරාව නියෝජනය කරමින් ජගත් අසුර නාද, දමිත් අසුර නාද යන අයද ශ්‍රී දළදා පෙරහැරේ වාදනය හා නර්තනය සමගින් එක්වී සිටිති. අසුර නාද පරපුර ශබ්ද පූජාව පැවැත්වීම වෙනුවෙන් උපන් කොට්ඨාසයක් බවත් වෙනත් රැකියාවල නිරත වීම කළ නොහැකි කාර්යයකි.

එතරම් වටිනා පරපුරක් වුවද, සම්භාවනාවට පාත්‍ර විය යුතු වුවද සුජිත් ආනන්ද වර්ණසූරිය අසුරනාද ඇගයීමට ලක් නොවූ කාලයක්ද තිබිණි.

අපි කලා ශිල්පීන් විදිහට උඩරට නර්තනයට කන කොකා හඬපු කාලයක් තිබුණා. මිනිස්සු මුදලට සීමා කරගත්තා. කලාකරුවන්ට නිසි ඇගයීමකට ලක් කෙරේ නැහැ. නමුත් ඒ කාලවකවානුව අවසන් කරමින් ශ්‍රී දළදා මාලිගාවේ භාරකාරත්වය වත්මන් දියවඩන නිලමේතුමා වන නිලංග දෑල මහතා භාර ගැනීමත් සමඟම උඩරට නර්තනයට හා කලා ශිල්පීන්ට විශාල දායකත්වයක් ලබා දෙමින් ඔවුන්ව රැක ගැනීම සඳහා වැඩසටහන් රැසක් ඇති කළා. අද අපි ලෝකෙ ජය අරගෙන තියෙනවා. මේ දිනාගත් සියල්ල රැකගන්නට සියල්ලන්ගේම අවධානය යොමු කළ යුතුයි. කලා ශිල්ප හා ශිල්පීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාව මගින් වැඩසටහන් රැසක් මේ වන විට දියත් කර පවතිනවා. පාරම්පරික ශිල්පීන් ආරක්ෂා කරගනිමින් දේශයේ උන්නතිය උදෙසා කලාව රැක ගැනීමට කටයුතු කිරීම අපි අගය කොට සලකනවා. ඒ වගේම ශිල්පීන් අද මේ වෘත්තියෙන් ඈත්වෙලා. ඒ වගේම පාරම්පරික ශිල්පීන් මේ වෘත්තියෙන් ඈත් වීම වැළැක්වීමට අතීත උරුමය සමග ජීවන මාර්ගයක් සකසන්නට දෑල මහතා කටයුතු යොදා පවතිනවා. හොඳම උදාහරණය තමයි සිබා විශ්වවිද්‍යාලය ආරම්භ කොට ශ්‍රී දළදා මාළිගාවෙන් පරිපාලනය කොට එහි වත්මනයේ නර්තන පීඨයක් ආරම්භ කොට කලාවේ උන්නතිය උදෙසා කටයුතු කරලා තියෙනවා. ඉතින් අපි කලා ශිල්පීන් විවිධ විදිහට තුමාට අපේ ගෞරවය හා ප්‍රණාමය මේ වෙලාවේ පුද කරනවා” ඔහු කියන්නේය.

තම පියා දැයට දායාද කළ කලා ශිල්පය මතු පරම්පරාව වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ වගකීම දරන සුජිත් මහතා පියා වෙනුවෙන් නර්තන කෞතුකාගාරයක් ඉදි කර තිබේ. අනාගත පරපුරේ දැනුම ප්‍රසාරණය වෙනුවෙන් අසුර නාද පරපුර මෙය ගොඩනැගූ බව හෙතෙම කියන්නේය. මෙම කෞතුකාගාරය අතීතයේ භාවිත කළ සියලු උපකරණ කොටස්, ලැබූ විශිෂ්ටතා, සටහන්, ඡායාරූප සහ භාවිත කළ නර්තන ඇඳුම් කට්ටල ඇතුළු නර්තනයට අදාළ දැනුම් සම්භාරයක් ලබා ගත හැකි මට්ටමේ එකකි.

ජානක සම්පත් බණ්ඩාර –
ගුන්නාපාන

advertistmentadvertistment
advertistmentadvertistment